වැලිකන්ද ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝලකට විකිණීම සඳහා රැගෙන ගිය රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා කීරි සම්බා ලොරියක් සොරාගෙන ගොස් තිබෙයි.
එම ලොරියේ කීරි සම්බා වී උර කිසියම් ස්ථානයකට නිදහස් කරගෙන ඉන්පසු ලොරි රථය පමණක් අරලගංවිල පොලිස් වසමට අයත් හතර කණුව ප්‍රදේශයේ දමාගොස් තිබියදී ඊයේ (20) සොයා ගැනීමට හැකි වූ බව වැලිකන්ද පොලිසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අරලගංවිල රුහුණගම ප්‍රදේශයේ ලොරි රථයේ හිමිකාර ව්‍යාපාරිකයා විසින් පෙරේදා (19) පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර තිබුණි.
එම පැමිණිල්ල අනුව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු අදාළ ලොරි රථයේ තිබූ කීරි සම්බා වී කිලෝ 9100ක ප්‍රමාණයක් සොරුන් පැහැරගෙන ඇති බවට අනාවරණ වී තිබේ.
සිංහපුර ප්‍රදේශයේ සහල් මෝලකට අදාළ කීරි සම්බා තොගය අලෙවි කිරීමට රියැදුරු විසින් රැගෙන ගොස් සිටියදී පවතින තදබදය හේතුවෙන් එදින මෝලට වී ලබාගැනීමට නොහැකි බවට දැනුම් දී තිබෙයි.
ඉන් අනතුරුව රියැදුරු ඒ බව දුරකථනයෙන් ව්‍යාපාරිකයාට දැනුම් දී ඇති අතර ව්‍යාපාරිකයා එහිදී රියැදුරුට සඳහන් කර ඇත්තේ ලොරිය සහ යතුර තබා නිවසට යන ලෙසයි.
ව්‍යාපාරිකයා පසුවදා එම ස්ථානයට යන විට ලොරිය එහි තිබී නැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
0 Comments