ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහන වැවකට දැමුවේ යැයි පැවසූ බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතාට එරෙහි නඩුවේ සාක්කිකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (19දා) යළිත් වරෙන්තු නිකුත් කළේය.
නඩුව විභාග නොකොට දිගින් දිගටම කල් යෑම අහිතකර තත්වයක් බව පෙන්වා දෙමින් මෙලෙස යළිත් වරක් වරෙත්තු නිකුත් කළ විනිසුරුවරයා නඩුවේ සාක්කිකරුවන් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද නියම කළේය.
2019 ඔක්තෝබර් 10 වැනිදාත් 2019 නොවැම්බර් 11 වැනිදාත් අතර කාලයේ තිඹිරිගස්යාය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සුදුවෑන් වලින් පුද්ගලයත් පැහැරගෙන ගොස් කිඹුලත් ගහන වැවකට දැමු බවට අසත්‍ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු නමින් පෙනී සිටි සරත් කුමාර නමැත්තාට ආධාර අනුබලදීම මෙන්ම එම මාධ්‍ය සාකච්ඡාවේදීම කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් සතුව තිබී හමුදා භාරයට ගත් රත්තරං තොගයක් ගේඨාභය රාප්පක්ෂ මහතා සතු කරගත් බවට අසත්‍ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි උණ්ඩියල් අතුල නමින් පෙනී සිටි අතුල සංජීව මදනායක නමැත්තාට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නගා ඇත.මාධ්‍ය සාකච්ඡාවේදී එම අසත්‍ය කරුණු පැවසීම සදහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව බොරු සාක්කි සැදීම, මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා එම කරුණු ප්‍රසිද්ධ කරවීම,
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික චරිතයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ කරවීමට කටයුතු යෙදීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.
විත්තිකරුවන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වැරදි සිදුකොට ඇතැයි නීතිපතිවරයා විසින් වැඩිදුරටත් සදහන් කොට ඇත. මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතාය.නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර පැමිණිල්ලේ සාක්කිකරු අධිකරණයේ පෙනී සිටියේ නැත.
ඒ අනුව පැමිණිල්ලේ සාක්කිකරුට යළිත් වරක් වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා නඩු විභාගය ලබන මැයි 08 වැනිදා දක්වා කල් තැබීය. විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන්නැයි ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සඳහා නඩුව අද (20දා) යළි කැඳවීමට විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
බුද්ධිමාල් රුබේරු
0 Comments