විෂ මත්ද්‍රව්‍ය මැඩ පැවැත්වීම සඳහා පසුගිය දෙසැම්බර් 17 වන දින සිට ක්‍රියාත්මක වන යුක්තිය මෙහෙයුම් කටයුතු සඳහා අද (11දා) සිට යුද හමුදාවේ සහාය ලබා ගැනීමට අතිරේකව පොලිස් නිලධාරීන් යෙදවීමටද තීරණය කර තිබේ.මේ අනුව අදාළ මෙහෙයුම් කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පළාත් 09 ආවරණය වන ආකාරයට නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙකු පත් කර තිබෙන අතර, පොලිස් කොට්ඨාස 45 ආවරණය වන පරිදි සොයා බැලීම් සිදුකිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 45ක් පත් කර ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනා පොලිස් මූලස්ථානයේ සිට අදාළ අධීක්ෂණ රාජකාරී සිදු කරන අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් 45දෙනා කොට්ඨාස තුළ රැඳී සිටිමින් අදාළ කටයුතු අධීක්ෂණය කරති. මෙම කටයුතු අද (11දා) සිට ආරම්භ වේ.
බහුල වශයෙන් මත්ද්‍රව්‍ය තිබෙන බවට හඳුනාගෙන තිබෙන පොලිස් ස්ථාන 70ක් මූලික කර ගනිමින් එක් බල ප්‍රදේශයකට අමතර නිලධාරින් 05දෙනා බැගින් තාවකාලිකව සේවයට යොදවා ඇත. යුක්තිය මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොට්ඨාස භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වූවන්ට ප්‍රතිකාර සිදුකිරීමේ ස්ථාන 250ක් දිවයින පුරා ස්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බවත්, අන්තරායකර ඹෟෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ අවශ්‍ය කටයුතු සිදුවෙමින් තිබෙන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.මෙම ස්ථාන හරහා එකවර 12,000කට ආසන්න ප්‍රමාණයකට ප්‍රතිකාර ලබා දීමට හැකිවෙතැයි ගණන් බලා තිබෙන අතර මෙම කටයුතු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අදහසකට අනුව සිදුකෙරේ.
මත්ද්‍රව්‍ය ජවාරම්වල නිරතවන බවට හඳුනාගත් පිරිස්වල නිවෙස් පරීක්ෂාව අද සිට සිදුකිරීමට නියමිතව තිබෙන අතර, මේ ආකාරයට හඳුනා ගත් පිරිස්වල නාම ලේඛන පොලිස් මූලස්ථානය විසින් අදාළ පොලිස් ස්ථානවලට යොමු කර තිබේ. අද සිට යුද හමුදාව යුක්තිය මෙහෙයුම් කටයුතු සඳහා සම්බන්ධ වීම සිදුකරනු ලබන්නේ පොලීසිය විසින් කැඳවන අවස්ථාවලදී පමණක් බවත්, එම කටයුතු සිදුවන්නේ පවතින නීතිමය රාමුව තුළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක
නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. වැටලීම් සිදුකරන අවස්ථාවලදී, සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම්වලදී හා මාර්ග බාධක යොදවන අවස්ථාවලදී ශ්‍රී ලංකා යුදහමුදාවේ නිලධාරීන්ගෙන් අදාළ සහාය ලබා ගැනීම් සිදුකරන බවත්, දෛනිකව යුක්තිය මෙහෙයුම් සිදුකරන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ අනුව අද දිනයේ සිට අවශ්‍ය අවස්ථාවලදී යුක්තිය මෙහෙයුම් කටයුතු සඳහා යුද හමුදා නිලධාරීන් කැඳවා ගන්නා ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවද ඒ මහතා පැවසීය. ඒ මහතා මෙසේද පැවසීය.විෂ මත්ද්‍රව්‍ය සමස්ත සමාජමය වෙලාගෙන තිබෙනවා.එය මැඩපැවත් වීම සඳහා අවශ්‍ය සහයෝගය නිරන්තරයෙන්ම යුද හමුදාව ඇතුළු අනෙකුත් ආරක්ෂක අංශවලින් ලැබුණා.
මෙම කටයුතු සඳහා මහජනතාවගේ සහාය තවදුරටත් අවශ්‍යයි.ජාවාරම්කරුවන් පදිංචි ප්‍රදේශවලින් පලා ගොස් වෙනත් ප්‍රදේශවල කුලියට නිවාස ලබාගෙන පදිංචිවන බවට අනාවරණය වී තිබෙනවා. මේ නිසා කුලී නිවාස ලබා දීමේදී අදාළ නිවෙස් ලබා ගන්නා පිරිස් සිදුකරන කටයුතු පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. සැක සිතෙන ස්ථාන පොලීසිය විසින් පරීක්ෂා කරනවා. යුක්තිය මෙහෙයුම් යටතේ මේ වන විට හෙරෝයින් කිලෝ 148ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 226ක්, ගංජා කිලෝ 3500ට අධික ප්‍රමාණයක් අත්අඩංගුව ගෙන තිබෙනවා. ගංජා පැළ ලක්ෂ 41ක් විනාශ කර තිබෙනවා.වෙනත් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 342ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත් පෙති 544,000ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම්වලින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 8500කට වැඩියි.මෙම මෙහෙයුම්වලදී සැකකරුවන් 68578ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිසෙන් 1969ක් සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. 134කට එරෙහිව වත්කම් විමර්ශන ආරම්භ කර තිබෙනවා. 2163 ක් පුනරුත්ථාපනයට යොමු කර තිබෙනවා. අත්අඩංගුවටගත් නිවාස හා වාහනවල වටිනාකම රුපියල් මිලියන 725කට අධිකයි. හඳුනාගත් පහළ මට්මමේ ජවාරම්කරුවන් 3400ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් වී සිටි පුද්ගලයන් 1577ක්, වෙනත් වරෙන්තු කරුවන් 8649ක් හා ඇඟිලි සටහන් මත සැකකරුවන් 326ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙනත් අපරාධ සම්බන්ධයෙන් 551ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.”
ඉන්දික හේවාවිතාරණ
0 Comments