The-musician-died-after-the-motorcycle-crashed-into-a-tree

අනුරාධපුර - පාදෙණිය ඒ 28 ප්‍රධාන මාර්ගයේ තලාව ප්‍රදේශයේ දී ඊයේ (8) අලුයම 5.15ට පමණ සිදුවූ රිය අනතුරකින් තරුණ සංගීත ශිල්පියකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තලාව පොලිසිය පවසයි.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලාව කැකිරාව මාර්ගයේ, තලාව නගරයට ආසන්නව පදිංචිව සිටි ගෝවින්දගේ ඉශාන් නිමන්ත නමැති 23 හැවිරිදි සංගීත ශිල්පියෙකි.උතුරු මැද පළාත් රාජ්‍ය සංගීත කණ්ඩායමේ තාල වාද්‍ය ශිල්පීයෙකු ලෙස කටයුතු කළ ඔහු විශාරද විභාගය සමත් අයෙකුද විය.



අනුරාධපුර දෙස සිට තලාව ප්‍රදේශයට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම තරුණයා තලාව ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට දී  එම යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල කොහොඹ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව තලාව පොලිසිය කියයි.
ඔහු වැඩසටහනකට සහභාගීවීමෙන් අනතුරුව අනුරාධපුර දෙස සිට යතුරුපැදියකින් තලාව ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත යමින් සිටියදී
අධික වේගයෙන් පැමිණ තිබේ. ඔහුට නින්ද යාම හේතුවෙන් යතුරු පැදිය පාලනයෙන් ගිලිහී ගොස් ගසේ වදින්නට ඇති බවට සැක කරන බව පොලිසිය සඳහන් කළේය. මරණකරු තරුණ සේවා යොවුන් සංගීත කණ්ඩායමකට අනුයුක්තව සංගීත ශිල්පියකු ලෙසද කටයුතු කරමින් සිටි අයකු බවද පොලිසිය පැවසීය. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.