බොරලැස්ගමුව, දේවාලමුල්ලේ දී පෙරේදා (2) රාත්‍රී පෙදරේරුවකුගේ ගෙලට මන්නයකින් කොටා ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරලැස්ගමුව, විහාර මාවතේ තාවකාලිකව පදිංචිව සිටි මාතර, කඹුරුපිටියේ ප්‍රදේශයේ පදිංචි එම්.කේ. ඉන්දික ලක්මාල් නමැති 38 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. ඔහු පෙරේදා රාත්‍රී 9.15 ට පමණ දෙහිවල ප්‍රදේශයේ හිතවත් ව්‍යාපාරික යුවළක් සමඟ ඔහුට අයත් ත්‍රිරෝද රථයෙන් කුකුළු මස් මිලදී ගැනීම සඳහා දේවාලමුල්ල මස් වෙළෙඳසලට පැමිණ සිටියදී මෙම මන්නා පහරට ලක් වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ව්‍යාපාරික යුවළ මස් වෙළෙඳසල කරා ගොස් සිටියදී ඝාතනයට ලක් වූ පුද්ගලයා ත්‍රී රෝද රථයෙන් බිමට බැස සිට ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණ තිබූ පුද්ගලයකු මන්නා පහර කීපයක් ඔහුගේ ගෙල ප්‍රදේශයට එල්ල කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.එම පහරදීමෙන් ලේවිලක් මැද වැටුණු එම පුද්ගලයා රෝහල් ගත කිරීම සඳහා 1990 සුව සැරිය ගිලන් රථයේ සුව සේවකයන් පැමිණ කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය ද ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇතැයි පොලිසිය සඳහන්කරයි. මන්නයෙන් පහර දුන් සැකකරු යතුරුපැදියකින් දෙහිවල දෙසට පලාගොස් ඇති බව පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයාට එරෙහිව බොරලැස්ගමුව පොලිසියට කිසිදු පැමිණිල්ලක් හෝ ඔහුට ජීවිත තර්ජන තිබෙන බවට ඔහුගෙන් පොලිසියට පැමිණිල්ලක් හෝ ලැබී නැති බවත් දෙහිවල සිට දේවාල මුල්ලට පැමිණෙන අතරවාරයේදී බාහිර පුද්ගලයකු සමග කිසිදු මතභේදාත්මක සිද්ධියක් ඇති නොවූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන කටයුතු සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.බොරලැස්ගමුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත ප්‍රියංකර දල්පදාදු මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කෙරේ.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments