easter-attack-warninngs

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළි කර ගැනීම සඳහා දුරකථන දත්ත හා සී.සී.ටී.වී. කැමරා දර්ශන උපයෝගී කර ගනිමින් විමර්ශන මෙහෙයවන බව රහස් පොලීසිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට ඊයේ (4දා) දැනුම් දුන්නේය.




පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු තොරතුර හා එහි තොරතුරුකරු සම්බන්ධයෙන් අනන්‍යතාව හෙළි කර ගැනීම සඳහා දුරකථන දත්ත හා සී.සී.ටී.වී. කැමරා දර්ශන අඩංගු පරිවේෂණීය සාක්කි වැදගත් විය හැකි බවද රහස් පොලීසිය වැඩිදුරටත් දැනුම් දුන්නේය.සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී කතෝලික සභාවේ ජන සන්නිවේදන අංශයේ අධ්‍යක්‍ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝ ලේ පෙරේරා සහ කවින්ද මාකලන්ද ඇතුළු පිරිසක් නඩු කටයුතු සිදුවන ආකාරය නිරීක්‍ෂණය කිරීම සදහා අධිකරණයට පැමිණ සිටියහ.




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංදීප්ත සූරියආරච්චි මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයාගේ ස්ථාවරය පෙර දින මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ යැයි කීය. පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලීසියේ පොලිස් පරීක්‍ෂක අයගම මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් පිළිබඳව තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රශ්නගත ප්‍රකාශය සම්බන්ධයෙන් ඒ මහතා රහස් පොලීසියට ප්‍රකාශයක් දෙමින් ඒ පිළිබඳ වැඩිමනත් කරුණු අධිකරණයක් හමුවේ පැවසීමට කැමැති බව දැනුම් දුන්නේ යැයි කී රහස් පොලීසියේ උපපොලිස් පරීක්‍ෂක විජේසූරිය මහතා, මෛත්‍රීපාල සිරිසේන මහතාට එම වැඩිමනත් කරුණු අධිකරණයට පැවසීම සඳහා මෙම පැමිණිල්ල කැඳවූයේ යැයි කීය.


එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සදහා සුදානම් නැති බව ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණේ යැයිද, ප්‍රකාශ දීම හෝ තොදීම ඔහුගේ කාර්යයක් බවද කී උපපොලිස් පරික්‍ෂක විජේසූරිය මහතා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළි කර ගැනීම සඳහා දුරකථන දත්ත හා සී.සී.ටී.වී. කැමරා දර්ශන උයෝගී කර ගනිමින් විමර්ශන මෙහෙය වන්නේ යැයිද, මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු තොරතුරු හා එහි තොරතුරුකරු සම්බන්ධන්ධයන් අනන්‍යතාව හෙළි කර ගැනීම සදහා දුරකථන දත්ත හා සී.සී.ටී.වී. කැමරා දර්ශන අඩංගු පරවේෂණීය සාක්කි වැදගත් විය හැකි යැයිද කීය.


මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයයන් කරුණු විකාශය කළ මාධ්‍ය ආයතනවලින් සංස්කරණය නොකළ දර්ශන අඩංගු සංයුක්ත තැටි අද ඇතත්, අදාළ මාධ්‍ය ආයතනවලින් එම සංයුක්ත තැටි මෙතෙක් ලැබී නැතැයිද කී උපෘපාලිස් පරික්‍ෂක විජේසූරිය මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන තුරු මෙම සිද්ධියට අදාළ රහසිගත වාර්තා අඩංගු ගොනුව මහස්ත්‍රාත්වරියගේ පෞද්ගලික භාරයේ තබාගන්නැයිද ඉල්ලා සිටියේය.පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජිත ලක්මාල් මහතා කරුණු දක්වමින් පාස්කු ප්‍රහාරය හේතුවෙන් විශාල පිරිසක් මියගිය හා තුවාල ලැබු බවත්, තවත් විශාල පිරිසක් වින්දිතයන් බවට පත් වූ බවත් කීය.




මේ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැරූ නඩුවකදී ඔහු ඊට වගකිව යුතු බවට තීරණය කර වන්දි පවා නියම කර ඇතැයිද, මෙම සිද්ධිය සම්බන්ධ්‍යායන් ඔහු එක එක අවස්ථාවල එක එක කරුණු පවසා ඇතැයිද කී නීතිඥ රජිත ලක්මාල් මහතා එවැනි තත්ත්වයක් තිබියදී ඔහු ප්‍රශ්නගත ප්‍රකාශය පසුගිය මාර්තු 22 වනිදා නුවරදී ප්‍රකාශ කර ඇතැයිද, රහස් පොලීසිය ඔහුගෙන් ඒ පිළිබඳ ප්‍රකාශ ගතිද්දී ඒ ගැන උසාවියට කියන්නම් යනුවෙන් පවසා ඇතැයිද කීය.


මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ මහත් ආන්දෝලනයක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ කර ඇතැයිද, කියන කියන කතා නිරන්තරයෙන් වෙනස් කරන පුද්ගලයකු බවද ඔහු කියන්නේ අසත්‍ය කරුණුද? නැත්නම් සත්‍ය කරුණු දැනගෙන ඒ පිළිබඳ වසන් කරනවාද? යන්න හරියටම පැහැදිලි නැතැයි කී නීතිඥ රජිත ලක්මාල් මහතා මෙම පාස්කු කාලයේ තම සමීපතමයන් නැතිවීමේ සොවින් පෙළෙන වින්දිතයන් වෙනුවෙන් මේ අතිසංවේදී කරුණ පිළිබඳ අධිකරණයට විශාල කාර්යභාරයක් කළ හැකි යැයිද කීය.මෛත්‍රීපාල සිරිසේන මහතා කියූ කරුණු අසත්‍ය නම් ඒ සම්බන්ධයෙන් මෙන්ම ඔහු කියූ කරුණු සත්‍ය නම් තොරතුරු හෙළි නොකිරීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව නඩු පවරා දඬුවම් නියම කිරීමේ හැකියාවක් ඇතැයිද කී නීතිඥ රජිත ලක්මාල් මහතා මත්‍රීපාල සිරිසේන මහතා කියු කරුණු සත්‍යද? අසත්‍යද? යන්න හෙළි කර ගැනීම සදහා විමර්ශනයය කරන්නැයි ඉල්ලා සිටියේය.


මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය- මේ සිද්ධිය පිළිබඳ රහස් පොලීසියට පැමිණිලි කළේ කවුද?


උපපොලිස් පරික්‍ෂක විජේසුරිය මහතා- ”ජන අරගලයේ පුරවැසියෝ” සංවිධානය. එම සංවිධානය මෙන්ම තවත් කිහිප දෙනෙකුම මේ ගැන පැමිණිලි කළා. නීතිඥ මහතා කියූ අන්දමට යුක්තිය ඉෂ්ට කිරීමට පියවර ගන්නවා.


නීතිඥ සංදීප්ත සූර්යආරච්චි මහතා- මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල 4දා කැඳවා අධිකරණයේ කාලය නාස්ති වීම වැළැක්වීමේ අරමුණින් මෝසමක් මාර්ගයෙන් නඩුව 03 දින අධිකරණයේ කැඳවා තම ස්ථාවරය දැනුම් දුන්නා. මගේ සේවාදායක හිටපු ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 06ක කාලයක් රහස් පොලීසියේ ප්‍රකාශ දුන්නා. එහිදී රහස් පොලීසිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තමයි මේ ගැන අධිකරණයක් හමුවේ කියන්නම් කියලා කීවේ. තම සේවාදායකයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127වැනි වගන්තිය යටතේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් දුන්නේ නැහැ කියලා විමර්ශනවලට බාධාවක් වන්නේ නැහැ. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කරනවා.




උපපොලිස් පරීක්‍ෂක විජේසූරිය මහතා- අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127වැනි වගන්තිය යටතේ අධිකරණයට ස්වේච්ඡාවෙන් ප්‍රකාශයක් නොකිරීම සම්බන්ධයයන් හබ කරන්නේ නැහැ. මේ සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට කිසිම බාධාවක් නැහැ. ඒත් විමර්ශන කටයුතු සරල නැහැ. පරිවේෂණීය සාක්කි මතයි මේ නඩුව ඉදිරියට

පවත්වාගෙන යා යුතු වන්නේ.


මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය - අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127වැනි වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් කිරීමට එසේ දැනුම් දුන්නේ රහස් පොලීසිය කළ ඉල්ලීමකට අනුව යැයිද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමන් නියෝගයක් නිකුත් නොකළ බවද, ප්‍රකාශයක් දෙනවා නම් ප්‍රකාශය කිරීමට එසේ දැනුම් දුන්නේ යැයිද කීවාය.


ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා- ප්‍රකාශයක් දීම සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ ස්ථාවරය දැනුම් දීමට පැමිණිල්ල වෙනත් දිනයක කැඳවීමට නියම කරන්න.


මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය- මෙම සිද්ධියට අදාළ වාර්තාවල ඉතාම සංවේදී කොටස් ඇති නිසා එහි සත්‍ය අසත්‍යතාව හෙළි කර ගන්නා තුරු එම වාර්ත රහසිගතව තබා ගැනීමට කටයුතු කරනවා. රජයේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම අධිකරණයේ වගකීමක්.


මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මියගේ නියෝග මත අධිකරණයේ භාෂා පරිවර්තක නිලධාරී වශයෙන් කටයුතු කරන ඉරේෂා රසාංගි මහත්මිය රහස් පොලීසිය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවල ඇතැම් කොටස් විවෘත අධිකරණයේ කියවුවාය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කිරීමට රහස් පොලීසියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන මැයි 10 වැනිදා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට රහස් පොලීසියට නියම කළාය.

පැමිණිල්ල වෙනනුවෙන් රහස් පොලීසියේ පොලිස් පරීක්‍ෂක අයගම මහතා සමග උපපොලිස් පරීක්‍ෂක විජේසූරිය මහතා පෙනී සිටියේය.හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත නීතිඥ සංදීප්ත සූරියආරච්චි මහතා පෙනී සිටියේය.  පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ රජිත ලක්මාල් මහතා පෙනී සිටියේය.
බුද්ධිමාල් රුබේරු