gampaha-school-stf

ගම්පහ ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා උත්සවයකට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලඇඳුම් සැලද ශිෂ්‍ය භටයන් සම්බන්ධ වීම පිළිබඳව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ ඇදුම් මැසීමට ලක් කළ පුද්ගලයා ඊයේ (08දා) අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත්, මෙම පුද්ගලයා ඇඳුම් මසන පුද්ගලයෙකු වුවත්, ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායට අදාළ නිලඇඳුම් මැසීමට අවසරයක් නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.



අදාල රංගනයට ඉදිරිපත් වී තිබෙන්නේ ශිෂ්‍ය භට කණ්ඩායමක් බවත්, ශිෂ්‍ය භට කණ්ඩායම් සම්බන්ධීකරණය කිරීමට පොලිස් නිලධාරීන් සිටින බැවින් මෙම නිලධාරීන් දැනුම්වත්ව මෙම කටයුතු සිදුවූවාද යන්නත් පරීක්ෂා කිරීම සිදුකරන බවද ඒ මහතා පවසා සිටියේය. පොලිස් නිලධාරීන් දැනුම්වත්ව මෙම කටයුතු සිදුව තිබෙනවා නම්, එම නිලධාරීන්ට එරෙහිවත් විනයානුකූලව පියවර ගන්නා බවද සඳහන් කළේය.

ආරක්ෂක අංශවලට සම්බන්ධ නිලඇඳුම් භාවිත කිරීම සඳහා නිසි පරිදි අවසරය ලබාගත යුතු බවත්, පොලිස් විශේෂ කාර්ය බළකාය පලදින කැලෑ ඇඳුම් පිටස්තර පුද්ගලයන් සතුව තිබිය නොහැකි බවත් ඒ මහතා පැවසීය. එමෙන්ම පිටස්තර පුද්ගලයන් සතුව මෙම රෙදි තබා ගැනීමට අවසරයක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ