japan-jobs

ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයන් දෙසීයකට අධික පිරිසක් රවටා රු.කෝටි 20කට අධික මුදලක් වංචා කළ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාර්වරයෙකු ලබන 10වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් එම්.එෆ්.සම්රුත් ජෙහාන් මහත්මිය ඊයේ (04) නියෝග කළාය.මෙසේ බන්ධනාගාර ගත කොට ඇත්තේ දඹුල්ල, පොහොරන්වැව ප්‍රදේශයේ පදිංචි කේ.ඒ. අරුණ ප්‍රදීප් සෝමපාල නැමති අයකු බව පොලීසිය කියයි.



දඹුල්ල සහ ඒ අවට පදිංචි තරුණ තරුණියන්ගෙන්, රාජ්‍ය සේවකයන්ගෙන් මෙන්ම භික්ෂූන් වහන්සේලාගෙන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දොළහ බැගින් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා ගිවිසුම් අත්සන් කොට ව්‍යාජ ලිපි ලේඛන හා ව්‍යාජ වීසා ලබාදී මාස ගණනාවක් සැඟව සිටි මෙම සැකකරුව පෙරේදා (03දා) රාත්‍රියේ තරුණයන් පිරිසක් විසින් දඹුල්ල නගරයේදී ග්‍රහණයට නතු කරගෙන දඹුල්ල පොලීසියට භාරදී තිබේ.එම අවස්ථාවේදීම සියයකට අධික තරුණ තරුණියන් පිරිසක් දඹුල්ල පොලීසිය ඉදිරිපිටට පැමිණ සිටියහ.පොලීසියට භාර දුන් පුවත සැලවීමත් සමඟ දඹුල්ල පොලීසියට ඊයේ(04දා) උදෑසන සිට දෙසීයකට අධික පිරිසක් පැමිණ සාධාරණය ඉටු කර දෙන්නැයි පොලීසිය අසල රැඳී සිටින් ඉයුරු දැක ගැනීමට හැකි විය.



කෙසේ වෙතත් කීපදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන මෙම සැකකරු බී වාර්තාවක් මගින් දඹුල්ල මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ යැයි පොලීසිය කියයි.සැකකරු ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සංවර්ධන නිලධාරිවරයෙකු ලෙස සේවය කරන බවත්, ඔහුගේ බිරිඳ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන බවත්, මෙම සැකකරු දඹුල්ල ප්‍රදේශයේ ජපන් භාෂා පුහුණු උපදේශකවරයකු ලෙස පෙනී සිටින බවත් ඔවුහු පෙන්වාදෙති.

ඒ අනුව ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා එන පිරිසට ජපන් රැකියා රැකියා දෙන බව පවසමින් මෙසේ මුදල් ලබාගෙන ඇති බවත්, ඔහුගේ බිරිඳ හරහා රාජ්‍ය සේවකයන් රැසකගෙන් මුදල් ලබාගෙන ඔවුන්ගේ රැකියා පවා අහිමි වී තිබෙන බවත් පොලීසියට ප්‍රකාශ ලැබී තිබේ.එක පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ දොළහ බැගින්ද, තවත් කණ්ඩායම්වලින් ලක්ෂ පහ බැගින් මුදල් ලබාගෙන තිබෙන බවත්,

මේ වන විට පුද්ගලයන් දෙසීයකට අධික පිරිසකගෙන් රුපියල් කෝටි විස්සකට අධික මුදලක් මෙම පුද්ගලයා ලබාලෙන ඇති බවත් ඔවුහු පවසති.මුදල් ලබා දුන් පිරිස කියා සිටියේ මෙම පුද්ගලයා ආරක්‍ෂා කිරීම සඳහා දේශපාලන අතින් මෙන්ම විවිධ කණ්ඩායම් පොලීසියට පැමිණෙන බවය.

එස්. කරුණාරත්න