ජාතික ජන බලවේගයේ කුණ්ඩසාලේ (දකුණ) විධායක කමිටු සාමාජිකාවක් හා ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිනියක් වන අමිලා විමානි කොඩිතුවක්කුආරච්චිගේ මරණය මුළු රටේම අවධානයට ලක්වූවකි. සමාජ මාධ්‍ය තුළ ඇගේ මරණය පසුගිය දින කිහිපය තුළ පට්ට ගැසුවේය. ඒ ඇය ජවිපෙ ක්‍රියාකාරිනියක් හෝ ජාතික ජන බලවේගයේ කුණ්ඩසාලේ (දකුණ) විධායක කමිටු සාමාජිකාවක් නිසාම නොව අනියම් සැමියා විසින් ඇයට පහර දී එය හදිසි අනතුරක් ලෙස හුවා දක්වමින් රෝහල්ගත කිරීමෙන් පසු ඇගේ මරණය සිදුවීම හේතු කොටගෙනය.
ජනතා විමුක්ති පෙරමුණ නම් වූ පක්ෂය ජාතික ජන බලවේගය ලෙස අලුත් මුහුණුවරකින් ක්‍රියාකාරී වන විට එහි කාන්තාවන් බලගැන්වීමේ කටයුත්ත පැවරෙන්නේ එම පක්ෂයේ ජාතික ලැස්තු මන්ත්‍රීවරියක් මෙන්ම ජාතික විධායක සභිකවරියක් වන ආචාර්ය හරිනි අමරසූරියටය. “ගැහැනු අපි එක මිටට“ තේමාවෙන් රට පුරා විසිරී සිටින කාන්තාවන් සිය අරමුණ වෙනුවෙන් පක්ෂය වටා රැස් කරන්නට නායකත්වය දෙන්නේ ඇයය. “ගැහැනු එක මිටට ගැනීමට“ තෙල්දෙණියේ පැවති රැස්වීම් මාලාව සංවිධානය කිරීමට යෝධ හයියක් වී තිබුණේ අමිලා විමානි කොඩිතුවක්කුආරච්චිය.
ඇය මේ තැනට පත්වන්නේ පසුගිය ජනවාරි 12 වෙනිදා කුණ්ඩසාලේ මහවැලිතැන්න පන්සල අසල පිහිටි ජවිපෙ ක්රියාකාරිකයකුගේ නිවෙසේ පැවති රැස්වීමකදී කුණ්ඩසාලේ (දකුණ) කාන්තා සංගමය පිහිටුවමින් එහි විධායක කමිටු සාමාජිකාවක් ලෙස පත්වෙමිනි.
මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරිනියක් වන ඇය එහි සේවය කරනු ලැබුවේ සමූපකාර පරීක්ෂකවරියක් ලෙසිනි. මහනුවර ප්‍රධාන පෙලේ බාලිකා විද්‍යාලයකින් අධ්‍යාපනය ලැබූ තැනැත්තියක් වූ ඇය පාසල් සමයේ පටන්ම සටන්කාමී චරිතයක් බව ඇයව හොඳින් දන්නා හඳුනන බොහෝ අය කියති. මෙරට ප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාමයක් සහිත ඇඟලුම් ව්‍යාපාරික සමාගමක සේවයේ නිරත ඇගේ සැමියා ද ඇගේ දේශපාලන ධාරාවේ රැඳී සිටින්නෙක් බව කියැවෙයි. එහෙත් ඔහු ඇය මෙන් ක්‍රියාශීලීව දේශපාලනයේ නිරත වන්නෙක් බව බැලූ බැල්මට පෙනී යන්නේ නැත.
ජවිපෙ, මෙන්ම ජාතික ජන බලවේගයට සම්බන්ධ පිරිස් පවසන්නේ ඇය සිය පක්ෂයේ සිටි ශක්තිමත් සටන්කාමී චරිතයක් බවය. ඇගේ දේශපාලන කතාව පවා සිත්ගන්නා සුළු බව ද කියැවෙති. ඇය විසින් දේශපාලන වේදිකාවේ කළ එවන් කතා ඕනෑ තරම් සමාජ මාධ්‍යවල ද පසුගිය දිනවල හුවමාරු වෙමින් තිබුණේ ඇගේ ඝාතනයේ උණුසුමත් සමඟිනි.
ඇය මෙසේ දේශපාලනයේ නිරත වන්නේ අද ඊයේ පටන් නොවීය. ඇගේ දේශපාලන ඉතිහාසය වසර විස්සකට විසිපහකට වඩා පැරණිය. 48 හැවිරිදි ඇයට ඇතැම් විට ඊටත් එහා ගියදේශපාලන ඉතිහාසයක් තිබෙන්නට පුළුවනි. පැවසෙන ආකාරයට අනුව ඇයට සිය සැමියාව පවා මුණගැසෙන්නේ දේශපාලනය හරහාය.
අමිලා විමානි කොඩිතුවක්කුආරච්චිට ඇය දරන දේශපාලන මතය ඔස්සේ දේශපාලනය කිරීමට සැමියාගෙන් ලැබී ඇත්තේ අසීමිත නිදහසකි. ඒ සැමියා ද එකී දේශපාලන මති මතාන්තර දැරූවෙක් නිසා වන්නට හැකිය. සැමියා රැකියාවේ නිරතව සිටියේ කොළඹය. එබැවින් සති අන්තයේ සැමියා පැමිණෙන තුරු කුණ්ඩසාලේ විදුර වත්තේ පිහිටි නිවෙසේ අමිලා විමානි ජීවත් වූයේ තට්ට තනිවමය. ඒ විවාහයෙන් විසි වසරක් ගතවී ඇතත් දරු සුරතල් බැලීමට ඔවුන්ට මෙතෙක් අවස්ථාවක් උදාවී නොතිබුණු බැවිනි. වටින් ගොඩින් නම් කියැවෙන්නේ ඇය තනිවම එම නිවෙසේ සිටියා යැයි කීවාට එසේම නොවන බවය. එහි ඇත්ත නැත්ත පැහැදිලි නැතත් දේශපාලනයෙන් පිට ඇගේ චරිතය ගැන නම් ඇත්තේ පැහැදිලි තත්ත්වයක් නොවන බව හැම පැත්තෙන්ම කියැවෙන්නෙකි. ඇගේ මරණයට ද මුල් වන්නේ එවැනි සිදුවීමකි.
සිය සැමියා සමඟ විවාහ වූ මුල් කාලයේ ඔවුන් ගතකර ඇත්තේ කුරුලු ජෝඩුවක් විලසිනි. අමිලා විමානිගේ පවුල් ජීවිතයට කණකොකා හැඬලෙන්නේ තුන්වැන්නෙක් එම පවුලට එබිකම් කරන්නට ගැනීමත් සමඟිනි. ඔහු සමන් චන්දන කොඩිතුවක්කුය. කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාවතේ පදිංචිකරුවෙක් වන ඔහු විවාහකයෙකි. එක් දරු පියෙකි. බිරිය ඔස්ට්රෙලිියානු ජාතිකයෙකි. බිරියත් දරුවාත් සිටින්නේ ඔස්ට්රෙලියාවේය. කියැවෙන ආකාරයට සමන් චන්ද කොඩිතුවක්කු විශ්‍රාමික හමුදා මේජර්වරයෙකි. ඒ ශ්‍රී ලංකා හමුදාවේ නොව, ඕස්ට්‍රේලියානු හමුදාවේය. ඒ බව කියන්නේ සමන් චන්දන කොඩිතුවක්කුය. සැබෑ ලෙසම ඔහු ඕස්ට්‍රේලියානු හමුදාවේ සේවය කළ විශ්‍රාමික මේජර්වරයෙක් බව නම් තහවුරුවී ඇති බවක් දැන ගන්නට නැත.
සමන් චන්දන ද ජවිපෙ මතවාදයේ සිටින්නෙකි. දෙදෙනාම කුණ්ඩසාලේ ජීවත්වූවත් මුහුණු පොත හරහා අමිලා විමානි සහ සමන් චන්දන දැන හඳුනා ගෙන මිතුරන් බවට පත්වන්නේ ඔවුන්ගේ දේශපාලන මතවාදවල ගැළපීම් නිසා විය හැකිය. පැවසෙන ආකාරයට අනුව මේ මිතුදම වසර ගණනාවක් පුරාවට විහිදී ගිය එකකි. දුක වේදනාව මුහුණු පොත ඔස්සේ ඔවුන් දෙදෙනා බෙදාගෙන තිබුණේ දේශපාලන මතවාදයෙන් එහා ගිය හිතවත්කමක් පසු කාලයේ වර්ධනය කර ගනිමිනි. ඒ බව කිසිවක් නොදත් අමිලා විමානිගේ සැමියා ද මුහුණු පොත හරහා සිය බිරියගේ සමීපතයාගේ කිට්ටුවන්තයෙක් බවට පත්වන්නේ පවුලේ හිතවතෙක් බවට පත්වෙමිනි. ඕස්ට්‍රේලියාවේ ඒ වන විටත් සිටි එම යුවළගේ පවුලේ ආරවුල් පවා වීඩියෝ දුරකතන ඇමතුම් මඟින් උපදෙස් දෙමින් විසඳන්නට පවා මැදිහත්වන්නට වූයේ අමිලා විමානිගේ සැමියාය. ඒ ඔස්සේ ඔහු අමිලා විමානිගේ පවුලට වඩාත් සමීප වූවා පමණක් නොව, අමිලා විමානිගේ හිත ද සොරා ගත්තේය. ඒ අනුකම්පාව ඔස්සේ ඇගේ ආදරය දිනා ගනිමිනි.
අමිලා විමානිගේ පවුලේ ජීවිතයට කණකොකා හැඬලෙන්නේ ඒත් සමඟිනි. සැමියාගේ රැවුම් ගෙරවුම්වලට පවා අමිලා විමානි ඒත් එක්කම ලක්වෙන්නට ගත්තාය. ඇය කෙරෙහි සැමියා හැමවිටම බලන්නට ගන්නේ සැකයෙනි. ඒ දේශපාලනයෙන් එහා ඇය ගැන ඇසෙන්නට වූයේ එතරම් හොඳ දේවල් නොවූ බැවිනි. දේශපාලනයෙන් ඇය කොතරම් ඉදිරියට ගියත් සිය පවුල් ජීවිතය පැත්තෙන් ඒ වන විටත් ඇය සිටියේ ආසාර්ථකවය. ඒ නිසාම සමන් චමින්ද සිටියේ ඇයව ඕනෑම මොහොතක භාර ගැනීමේ සූදානමිනි. ඒ වෙනුවෙන් ඔහු සිය බිරිය හා දරුවා අතහැර දමා ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට එන්නේ පසුගිය වසරේ නොවැම්බර් 15 වෙනිදාය. ඒ අමිලා විමානිව සිය සැමියාගෙන් දික්කසාද කරවා ඇය සමඟ විවාහ වී අලුත් ජීවිතයකට ඇරඹුමක් තබන්නට සිතාගෙනය. එහි ප්‍රතිඵලයක් වන්නේ අමිලා විමානි සහ සැමියා අතර අඩදඹර හා ආරවුල් දිනෙන් දින දික්ගැස්සීමය. මේ නිසාම ඇය දැඩි තීරණයක් ගත්තාය. සිය සැමියා අතහැර කුණ්ඩසාලේ විදුර වත්තේ සිට කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ මාවතේ පිහිටි සමන් චමින්දගේ නිවෙසේ පදිංචියට ආවාය. ඒ එන්නේ ද අතට හසුවන ඇඳුම් කඩමලු ටිකක් ද බෑගයේ ඔබාගෙනය. ඒ පසුගිය මාර්තු 18 හෝ ඒ ආසන්න දිනකදීය. ඇය එසේ සිය සැමියා අතහැරදමා අනියම් සැමියා වෙත එන්නේ අලුත් ජීවිතයකට මුලපුරමිනි.
දිනය මාර්තු 25 වෙනිදා අලුයම 5.00ට පමණ ඇත. කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ වත්තේ පිහිටි සමන් චමින්දගේ නිවෙස ඉදිරිපිට නතර වන්නේ සයිරන් නලා හඬ නංවමින් පැමිණි 1990 සුවසැරිය ගිලන් රථයකි. එම රථය එම ස්ථානයට එන්නේ සමන් චමින්ද ලබාදුන් දුරකතන ඇමතුමකට අනුවය. ඒ සිය බිරිය නාන කාමරයේ ඇද වැටී තුවාල ලබා සිටින බවය.
1990 සුවසැරිය ගිලන් රථ සේවාව එහි පැමිණෙන විටත් අමිලා විමානි සිටින්නේ දැඩි අසාධ්‍ය තත්ත්වයකිනි. ඇය ජීවිතයත් මරණයත් අතර සටනක නියැළෙමින් සිටින බව වටහා ගත් සුවසැරියේ උපස්ථායකින් වහාම ඇයට මූලික ප්‍රතිකාර ලබාදෙමින් රැගෙන යන්නේ මහනුවර මහා රෝහලටය. එහිදී ඇගේ භාරකරු ලෙස රෝහල් පෝරමයේ සටහන් තැබෙන්නේ සමන් චන්දනගේ නමය.
මහනුවර රෝහලට ඇතුළත් කළ සැණින් අමිලා විමානි ඇතුළත් කරනු ලබන්නේ දැඩි සත්කාර ඒකකයටය. ඒ ඇය ඒ වන විට සිටින්නේ වචනයක්වත් කතා කර ගැනීමට නොහැකි තත්ත්වයකිනි. ඒ අඩසිහියෙනි. ඇයව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරන අවස්ථාවේදී රෝහල් වෛද්‍යවරුන්ට ඇගේ හිසට සිදුව තිබුණු තුවාලය ගැන ඇති වන්නේ කුකුසකි. ඒ නාන කාමරයක ඇද වැටීමකින් යැයි කීවාට ඇගේ හිසට සිදුව ඇති තුවාලය එවැනි ඇද වැටීමකින් සිදුවිය හැකි තුවාලයකට වඩා එහා ගිය අවස්වාභාවික එකක් වූ බැවිනි. මේ නිසාම අමිලා විමානිව අධිකරණ වෛද්‍ය විශේෂඥයාගේ පරීක්ෂාවට ද ලක් විය. එහිදී හිසට පමණක් නොව, ඇගේ සිරුරේ තවත් ස්ථාන රැසකට සිදුවී ඇති තුවාල නිරීක්ෂණය කළ ඔහු ඒ බව පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයාව දැනුවත් කරමින් සඳහන් කරනු ලබන්නේ අමිලා විමානි අනතුරට ලක්වූවේ යැයි කියන ස්ථානය නිරීක්ෂණය කරන ලෙසය. ඒ ඇද වැටීමකට වඩා එහා ගිය යම් සිදුවීමක් ඇති බව කියමිනි.
එම දැනුම්දීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා නිලධාරීන් කණ්ඩායමක් සමඟ මහනුවර රෝහලට යන්නේ ඒ වන විටත් මෙම සිදුවීම පොලිසියට වාර්තා වී නොමැති වූ බැවින් ඒ ගැන යම් සොයා බැලීමක් කිරීමටය. එහිදී පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ගේ අතට ලැබෙන්නේ ඇයව රෝහල්ගත කිරීමට මැදිහත් වූ ඇගේ භාරකරුවූ සමන් චමින්දගේ දුරකතන අංකයයි. ඇයව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් මොහොතක් වත් රෝහල පැත්ත පළාතේ පැමිණ නොතිබුණු ඔහු ඒ වන විට සිටියේ සිය ජංගම දුරකතනය පවා අක්‍රිය කරය. පොලිස් නිලධාරීන් දෙතුන් වතාවක්ම දුරකතනයට ඇමතුම් ගත්ත ද ඵලක් නොවූ තැන හතරවටින් තොරතුරු සොයාගෙන යන්නේ කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ වත්තේ පිහිටි නිවෙසටය. ඊට 1990 ගිලන් රථ සේවයෙන් ද ලොකු සහයක් පොලිසියට ලැබී තිබුණේය. ඒ ඇයව රෝහලට රැගෙන එන්නේ ගිලන් රථ සේවයේ උදවිය වූ බැවින් ඇයව ගිලන් රථයට ගොඩකරගත් ස්ථානය ගැන ඔවුන්ට යම් අවබෝධයක් පැවති බැවිනි.
පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් නරේන්ද්‍රසිංහ වත්තේ පිහිටි සමන් චමින්දගේ නිවෙස සොයා යන විටත් එහි දොර ජනේල් තිබෙන්නේ වසා දමාය. දුරකතනය විසන්ධි කර ගේ දොර වසා දමා තිබීමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට ඇතිවන්නේ ලොකු සැකයකි. ඒ නිසාම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට ඔහුව සොයා ගැනීමට ඇති වන්නේ ලොකු උනන්දුවකි. පොලිසියේ එම උනන්දුව නිසාම සමන් චමින්දට වහන්වී වැඩි කාලයක් සිටින්නට ඉඩක් නොවීය. 26 වෙනිදා ඔහුව අල්ලා ගන්නේ ඒ පැත්තේම යම් තැනක සැඟවී සිටියදීය.
ඒ අනුව නරේන්ද්‍රසිංහ මාවතේ පිහිටි නිවෙසේ දොරගුළු පොලිසියට විවර වන්නේ ඔහු අතින්මය. මෙම නිවෙස තනි තට්ටුවේය. එහෙත් සාලයේ සිට කෑම කාමරයටත් මුළුතැන්ගෙටත් කාමරවලටත් ගමන් කළ යුතුව ඇත්තේ පඩිපෙල් මතිනි. භූමියේ පිහිටීම උපයෝගී කරගෙන එම නිවෙස එසේ නිර්මාණය කර ඇත. සාලය ඇත්තේ නිවෙසේ පහළය.
“සර් 24 වෙනිදා දවසම මම ගෙදර හිටියේ. අමිලා උදේ ගිය ගමන් ආවේ ටිකක් රෑ වෙලා. මම එයා යන එන තැන් අහන්නේ නැහැ. එයාගේ සමහර වැඩ මේ ටික දවසට මට එතරම් රිස්සුවෙත් නැහැ. එයා ගැන මිනිස්සු එක එක කතා කියනවා. මම ඒ ගැන අහන්න ගියෙත් නැහැ. එයා එදා ගෙදර ඇවිත් කිචන් එකට වෙලා වයින් වීදුරුවක් බිව්වා. මම සාලේ හිටියේ. පොඩියට ෂොට් එකක් දාන ගමන්. ඒ වෙලාවේ මම දැක්කා එයාගේ මුහුණ තඩිස්සි වෙලා තියෙනවා. එයා හස්බන්ඩ් දාලා මා එක්ක ආවෙත් දෙන්න අතර පොඩි පොඩි ප්‍රශ්න තිබුණු නිසයි. ඒ නිසා මම හිතුවා හස්බන්ඩ් එයාට ගහල ද කියල. ඒ ගැන ඇහුවා විතරයි එයාට තරහා ගියා. කෑ ගහගෙන උඩ ඉඳන් පල්ලෙහාට එනකොට එයාව පඩිපෙළින් වැටුණා” අමිලා විමානිට වූ දේ ගැන සමන් චමින්ද පොලිස් ප්‍රශ්න කිරීමේදී කියන්නට වූයේ එසේය.
නාන කාමරයේ වැටී තුවාල වූ බව කීවත් දැන් එය සිදුව ඇත්තේ නාන කාමරයේ වැටීමකින් නොව, පඩිපෙළකින් වැටීමකිනි.
“හයියෙන් ආපු පාර එයා උඩබෙලි අතටයි වැටුණේ. ඔළුව පිටිපස්සෙන් පඩිපෙළේ වැදුණා. “අමිලා විමානිගේ හිසට තුවාල සිදුව තිබුණේ පිටුපස පැත්තේය. දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට තරම් ඇය බරපතළ තත්ත්වයේ සිටියේ එම තුවාලය හේතුවෙනි. ඇයට වචනයක්වත් කතා කරන්නට බැරි වූයේ එම තුවාලය නිසාය. ඒ වන විටත් ඇය සිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවය. අධිකරණ වෛද්‍ය විශේෂඥයා පොලිස් නිලධාරීන්ව දැනුවත්කර තිබුණු ආකාරයට අනුව තුවාල සිදුව තිබුණේ ඇගේ හිසට පමණක් නොව ඉල ඇට පවා බිදී තිබුණේය. එය මොට ආයුධයකින් කළ පහරදීමකි. ඒ නිසාම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සමන් චමින්ද කී කිසිවක් එකවර විශ්වාස කරන්නට ගියේ නැත. අමිලා විමානි බිම ඇද වැටුණේ යැයි කියූ පඩිපෙළ පරීක්ෂා කළේය. එහි තැන තැන විසිරී තිබුණු ලේ පැල්ලම් කිහිපයක් පොලිස් නිලධාරීන් නිරීක්ෂණය කළේය. අනතුරුව පොලිස් නිලධාරීන් අමිලා විමානි මෙම නිවෙසේ රැඳී සිටි කාමරය පරීක්ෂා කළේය. එය පිහිටියේ සාලයට ඉහළින්ය. එම කාමරයේ ඇද මත ද ලේ පැල්ලම් කිහිපයක් පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට හසුවන්නට විය. පඩිපෙළේ වැටී ඇයට තුවාල සිදු වූයේ නම් ඇඳ මත ලේ පැල්ලම් විසිරෙන්නට කිසිසේත්ම විදිහක් නොමැති බව වටහා ගත් පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා සිය උසස් නිලධාරීන් මේ ගැන දැනුවත් කරමින් නරේන්ද්‍රසිංහ මාවතේ පිහිටි නිවෙසට ගෙන්වා ගන්නේ මහනුවර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් කණ්ඩායමකි. ඒ අපරාධමය ස්වභාවයක් නිවෙස තුළ දක්නට ලැබුණු බැවින් නිවෙස තුළ සියුම් පරීක්ෂාවක් සිදු කර බැලූ බැල්මට ඇති තත්ත්වය සම්බන්ධයෙන් යම් විද්‍යාත්මක විග්‍රහයක් සහ විශ්ලේෂණයක් කර ගැනීමටය.
මෙහිදී අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පඩිපෙළ මතින් සහ ඇඳ මත තිබී පමණක් නොව, මුළුතැන්ගෙයින් ද, නිවෙසේ පුටු මේස යටින් ද, බිත්තියක් මතින් ද ලේ පැල්ලම් සොයා ගත්තේය. ඒ විසිරුණු කුඩා බින්දුය. ලේ පැල්ලම් විසිරී තිබුණු බිත්තියේ ඇගේ හිස කෙස් ඇලී තිබියදී ද සොයා ගන්නේ ඇයට මාරාන්තික තුවාලය සිදුවූ ආකාරය ගැන යම් විග්‍රහයක් කර ගැනීමට අවස්ථාවක් ද පොලිසියට ලබා දෙමිනි.
ඒ වන විටත් බොහෝ දේවල් සමන් චමින්ද සිටියේ සඟවාගෙනය. කොතරම් ප්‍රශ්න කළත් ඔහු කටක් ඇර සිදු වූයේ කුමක් දැයි කියා ඇත්ත වැමෑරුවේ නැත. පොලිසිය ද පස්සෙන් පන්නමින් දන්නා ශිල්ප දමා ඔහුගෙන් ඇත්ත වමාරා ගන්නට ගියේ ද නැත. ඒ කොයි මොහොතක හෝ අමිලා විමානි කට ඇරිය විට බැටේ දෙන්නම් යැයි සිතාගෙනය. ඒ යැයි කියා පොලිසිය සමන් චමින්දව අතහැරියේ නැත. නිවෙස තුළ අපරාධමය ස්වභාවයක් දක්නට ඇති බැවින් ඒ ගැන සැකයන් මතු කර ඔහුව තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. පොලිසිය විසින් කළ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන්නේ දවස් 14කටය. සමන් චමින්ද බන්ධනාගාරගතව ගතවූයේ සිව් දිනකි. අමිලා විමානි දැඩි සත්කාර ඒකකයේදීම අවසන් හුස්ම පොද වාතලයට මුසු කරනු ලබන්නේ බොහෝ දේවල් සඟවා ගෙනය.
අමිලා විමානිගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුවන්නේ ද මහනුවර රෝහලේදීමය. එහිදී ඇගේ සිරුර විච්ඡේදනය කර පරීක්ෂා කරනු ලබන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකි. ඒ ඇගේ තුවාල ගැන සැකයක් ඇතැයි පොලිසියට කී අධිකරණ වෛද්‍යවරයාමය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එම අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපත් කරන්නට වූ නිගමනයන්ට අනුව අමිලා විමානිගේ මරණය සිදුව ඇත්තේ මොට ආයුධයකින් හිසට හා පපු ප්‍රදේශයට පහරදීමකින් සිදුවූ බහු විධ තුවාල හේතුවෙනි. ඇගේ ඉල ඇට තුනකට ද මෙහිදී හානි සිදුව ඇත්තේ පහරදීමේ බරපතළ තත්ත්වය කියාපාමිනි.
වැසිකිළියේ වැටුණු බව මුලින් කීවත්, පසුව පඩිපෙළින් වැටී තුවාල වූ බව කීවත් අමිලා විමානිට සැබෑ ලෙසම තුවාල සිදුව ඇත්තේ පහරදීමකිනි. ඇය මියයන්නේ ද එම පහරදීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව ඇගේ මරණය හදිසි අනතුරක් නොව මිනිස් ඝාතනයක් බව පැහැදිලිය. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් නරේන්ද්‍රසිංහ මාවතේ පිහිටි නිවෙසේ සිදු කළ පරීක්ෂණවලින් සොයාගත් තොරතුරු ඔස්සේ මේ වන විට නිගමනය වී ඇත්තේ අමිලා විමානිට පහර දී හිස බිත්තියේ පවා ගසා ඇති බවය. රුධිර පැල්ලම් සමඟ බිත්තියේ හිසකෙස් ඇලෙන්නේ එම පහරදීමෙනි.
මේ හැමදෙයක්ම සිදුව ඇත්තේ 24 වෙනිදා රාත්‍රී කාලයේදී සාලයත් මුළුතැන්ගෙයත් අතර කොටසේය. 1990 සුවසැරිය ගිලන් රථය කැඳවා ඇත්තේ 25 වෙනිදා අලුයම 5.00ට පමණය. ඒ අනුව පෙනී යන්නේ පහරදීමෙන් තුවාල ලැබූ ඇය පැය ගණනාවක් නිවෙස තුළ රැඳී සිට ඇති බවය. මේ කාලය තුළ ඇය සිටින්නට ඇත්තේ ඇඳ මතය. ඒ එහි ලේ පැල්ලම් ඇත්තේ එබැවිනි. ඉතා දරුණු සහ අමානුෂික පහරදීමකට ලක්ව සිටි ඇය මේ කාලය තුළ දැඩි වේදනාවකින් පීඩාවිඳිමින් සිට ඇත්තේ අඩුම තරමින් ප්රඵමාධාරයක් වත් නොලබාය. රෝහල්ගත කළත් දැඩි සත්කාරයක් තුළ ප්‍රතිකාර ලැබුවත් ඇයට ජීවත්වීමට වාසනාවක් උදා නොවන්නට ඇත්තේ ඒ නිසා විය හැකිය.
කෙසේ වෙතත් අවසානයේදී ඇගේ සිරුර භාර ගැනීමට ඉදිරිපත් වන්නේ ද ඇගේ සැමියාය. රෝහලින් නිදහස් කරගත් සිරුර භූමදානය කරනු ලබන්නේ මහයියාව පොදු සුසාන භූමියේය. ඒ ඇගේ සිරුර නිවෙසටවත් රැගෙන නොයාය. අඩුම තරමින් ඇගේ තනි නොතනියට ඇය පස්සේ වැටී සිටි කිසිවකුත් ඒ අවසන් මොහොතේ ඇය සමඟ නොසිටියාය.
ගයාන් කුමාර වීරසිංහ (Silumina)
0 Comments