පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වේ විශ්වසනීයත්වය පිළිබඳව විමර්ශනය කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලිසියට නියෝග කළේය.
මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මැයි මස 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය රහස් පොලිසියට නියෝග කළාය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබා නොදෙන බව හිටපු ජනාධිපති සිරිසේන අප්‍රේල් 03 වැනිදා සිය නීතිඥවරයා මාර්ගයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට
දැනුම් දුන්නා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ ඉල්ලීමකට අනුව අප්‍රේල් 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය මීට පෙර හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබාදී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් රහසිගත ප්‍රකාශයක් කිරීමට තම සේවාදායකයා අදහස් නොකරන බව හිටපු ජනාධිපති සිරිසේන වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෙකු අධිකරණය හමුවේ මෝසමක් මගින් අධිකරණයට දන්වා සිටියේය.
හිටපු ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාවක් ගොනු කර තිබුණා. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමන් දන්නා බවට හිටපු ජනාධිපතිවරයා මහනුවරදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
0 Comments