මැදවච්චිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හය දෙනකු තම පුතුගේ දෑත පිටුුපසට කර බැඳ, අමානුෂික අයුරින් පහර දීම හේතුවෙන් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිදු කළ ශල්‍යකර්මයකින් අනතුරුව ඔහුගේ වෘෂණකෝෂයක් ඉවත් කිරීමට සිදු වූ බව එම තරුණයාගේ මව පැවසුවාය.
මෙලෙස පහර කෑමට ලක්ව තිබුණේ මැදවච්චිය, තුලාවෙල්ලිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි දිලීෂ සංගීත් නමැති තරුණයෙකි. ඔහුගේ පියාද පොලිසියේ රාජකාරියේ නිරත සැරයන්වරයෙකි.
මෙහිදී අදහස් දැක්වූ ශල්‍යකර්මයකට භාජනය කර සිටින දිලීෂ මෙසේ පැවසීය:
“හත්වෙනිද බට්ටා ලොරිය හදාගෙන, මමයි යාළුවායි එන කොට රථවාහන පොලිස් නිලධාරීන් දෙන්නෙක් මාර්ගයේ හිටියා. වාහන ගොඩක් එතන නතර කරලා තිබුණා. අපි ඒ ස්ථානය පසු කරලා කිලෝමීටරයක් විතර දුරක් ගියාම ට්‍රැෆික් බයිසිකලයක් ඇවිල්ලා අපේ ඉස්සරහින් මඟ හරස් කරලා නතර කළා. නවත්තපු ගමන් මමයි යාළුවයි එළියට ඇදලාගත්තා. මගේ අත් දෙක පිටිපස්සට කරලා ගැටගහලා වාහනයට දාලා ගැහුවා, අපේ ලොරියට පිටිපස්සෙන් ආපු පොලිසියේ ත්‍රීවීල් එකක හිටපු හතර දෙනෙක් පොලුවලින් මගේ යාළුවට ගැහුවා. අපි මැදවච්චියේ පොලිසියට අරන් ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා. ඒ වෙලාවේ මම ඒ මහත්තයලට කිවුවා මට ගොඩක් අමාරුයි, රෝහලට අරන් යන්න කියලා. ඊට පස්සේ වෛද්‍යවරයා ළඟට අරන් ගියාම, වෛද්‍යවරයා බලලා කිවුවා ගොඩක් අමාරුයි අනුරාධපුර ශික්ෂණ රෝහලට අරන් යන්න කියලා. පස්සෙ අනුරාධපුර රෝහලේදී ස්කෑන් එකක් කරලා වෘෂණකෝෂවලට ලේ බැහැලා කියලා ඔපරේෂන් එකක් කළා. අපිට ගහපු හේතුවක් අපි දන්නේ නෑ. ඒ ට්‍රැෆික්ලා අපිට නතර කරන්න කිවුවලු. අපි දැක්කෙ නෑ. වාහන ගොඩක් නතර කරලා තිබුණා. මේ වෙන කොට මගේ බෙල්ල, කොන්ද, මූත්‍රාශය ප්‍රදේශයෙන් දැඩි වේදනාවක් දැනෙනවා.”
මෙහිදී අදහස් දැක්වූ තරුණයාගේ මව වන කේ.පී. ප්‍රියදර්ශනී මහත්මිය:
“පුතා තව යාළුවෙක් එක්ක වාහනය හදාගෙන එන්න මැදවච්චියට ගියා, එතකොට පොලිසිය අත දාලා තියෙනවා, පුතාලා දැක්කේ නැහැ කියනවා. ඊට පස්සේ පිටිපස්සෙන් පන්නගෙන ඇවිල්ලා, වාහනෙන් එළියට ඇදලා අරන් පුතාගෙ අත් දෙක පිටිපස්සට කරලා බැඳලා, පයින් පාගලා පහර දීලා තියෙනවා. ඊට පස්සේ මැදවච්චියෙන් අනුරාධපුර රෝහලට අරන් ඇවිල්ලා දැන් ශෛල්‍ය කර්මයකට භාජනය කරලා මගේ පුතාගේ වෘෂණකෝෂයක් අයින් කරලා... දෙයියනේ! ඒ ළමයගේ අනාගතේ ඉවරයි. මේ දුක මම කාට කියන්නද?
“රට යන්න පාස්පෝට් හදලා කොරියන් පාඨමාලාව හදාරමින් සිටියේ. ඊයෙත් පාඨමාලාව තියෙන දවසක්. මේ සම්බන්ධයෙන් අපි උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිලි කළා. මම මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිගෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන්, පොලිස්පතිතුමාගෙන්, ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලයි. මේ වගේ අපරාධයක් කරන්න තරම් මගේ පුතා වරදක් කරල නෑ.”
මේ සම්බන්ධයෙන් අප මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි.බී. රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය:
“මේ සිද්ධිය පසුගිය 7 වෙනිදා තමයි සිද්ධ වෙන්නේ. මැදවච්චිය, මන්නාරම මාර්ගයේ ප්‍රාථමික විද්‍යාලය ආසන්නයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙන්නෙක් රාජකාරි කරන කොට බට්ටා වර්ගයේ ලොරි රථයකට නතර කරන ලෙස සංඥා කරද්දී අණ නොතකා ධාවනය කරනවා. ඒ අවස්ථාවෙදි පොලිස් ත්‍රිරෝද රථයක සිටි නිලධාරීන් ඒ සිද්ධිය දැකලා ලොරිය පසුපස ලුහුබඳිනවා. ඉන් පසු කිලෝ මීටර් නවයක් පමණ දුර යනවා. එක නිලධාරියෙක් ලොරියේ දොරේ එල්ලිලා තියෙනවා. ඒත් නතර කරලා නැහැ. අන්තිමට තුලාවේලි අතුරුපාරකදී ලොරිය නතර වෙනවා. ඊට පස්සේ අපේ කට්ටිය ගිහින් අල්ලගන්නවා. පස්සේ රියැදුරා කලහකාරි ලෙස හැසිරිලා තිබෙනවා. රියැදුරා බීමත්ව රිය ධාවනය කර තිබෙනවා. රිය සහායක ලීටර් පහේ නීති විරෝධී මත්පැන් බූලියක් බිමට හලා තිබෙනවා ලොරියෙ යන කොට. රියැදුරු බලපත්‍රයක් නැතිව රිය ධාවනය, බීමත්ව රිය ධාවනය, අපරීක්ෂාකාරි අන්දමින් රිය ධාවනය, අණ නොතකා රිය ධාවනය සම්බන්ධයෙන් මේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබුණා. රය සහායකයා නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
“රියැදුරා පොලිසියට ඇතුළත් කළාම වෘෂණකෝෂය ඉදිමිලා කියලා කියනවා. අපි ඊට පස්සේ රෝහල්ගත කරනවා. පොලිස් නිලධාරීන් කියන්නේ ඔවුන් ගැහුවෙ නෑ කියලා. මේ සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායක මහතා යටතේ විමර්ශනයක් සිදු කරනවා. සිද්ධියට සම්බන්ධ රථ වාහන අංශ නිලධාරීන් දෙදෙනා වෙනත් පොලිසි දෙකකට මාරු කර යවා තිබෙනවා.”
(අනුරාධපුර-සශිනි මධුෂානි)
0 Comments