mini-cooper-three-wheeler

රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ ‘මිනි කූපර්' වර්ගයේ මෝටර් රථයක් ත්‍රිරෝද රථයක අංකයක් යොදා ලියාපදිංචි කර, රජයට පාඩු කළැයි චෝදනා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට සහ මෝටර් රථ ප්‍රවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරිය.රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ වාහන පිළිබඳව රථවාහන ලියාපදිංචි කිරීමේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කර වෙනත් වාහන අංක යටතේ ලියාපදිංචි කිරීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 26කට අධික පාඩුවක් කළ බවට ද අල්ලස් කොමිසම විත්තිකරුවන්ට චෝදනා කර ඇත.



ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී මෙම වරද කර ඇතැයි අල්ලස් කොමිසම පැවැරූ නඩුවේ සඳහන් කර ඇත.ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නෝ, මෝටර් රථ ප්‍රවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්පාදකවරයකු වශයෙන් රාජකාරි කළ රෝහිත සමරවීර, උපුල් ප්‍රියන්ත ද සිල්වා, කේමන්ත මුත්තුංග (විදේශගත වී), චන්න රෝහිත, ධර්මරත්න බණ්ඩා සහ ‘මීනී කූපර්’ වර්ගයේ මෝටර් රථයේ හිමිකරු බව කියන අජිත් කුමාර වලිසුන්දර නමැත්තෝය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට මෙලෙස නඩු පැවැරීය.

2015 මැයි 16 වැනිදාත්, සැප්තැම්බර් 26 වැනිදාත් අතර කාලයේ කොළඹදී මෝටර් රථ ප්‍රවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්පාදකවරයකු වශයෙන් රාජකාරි කරමින් දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට පිවිසීමට ඇති අයිතිය භාවිත කරමින් විදේශ රටක නිෂ්පාදිත ‘මීනී කූපර්' වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් දත්ත කේ.ඊ. 3845 දරන ත්‍රිරෝද රථය වෙනුවෙන් ඇති දත්ත වෙනුවට ව්‍යාජ ලෙස දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ඇතුළත් කර ‘මීනී කූපර්' වර්ගයේ මෝටර් රථය වෙනුවෙන් ලියාපදිංචි සහතිකයක් අජිත් කුමාර වලිසුන්දර නමැත්තාට නිකුත් කරන ලදැයි රෝහිත සමරවීර නමැති විත්තිකරුට නඟා ඇත.

ඊට ආධාර අනුබල දෙන ලදැයි සෙසු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කරන අල්ලස් කොමිසම, එමගින් රුපියල් 26,17,500ක පාඩුවක් රජයට කළ බවට ද අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ලේඛන 127ක් සහ සාක්කිකරුවන් 66 දෙනකු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී තිබිණි.

 මනෝප්‍රිය ගුණසේකර