උත්සව සමය වෙනුවෙන් රෙදිපිළි මිලදී ගැනීමට මහරගම පමුණුව ප්‍රදේශයට පැමිණෙන ජනතාවගේ දේපොළ හා මුදල් කොල්ලකෑ ගැටකපන්නන් එකසිය විසි පස්දෙනෙකු පමණ පසුගිය දින කිහිපය තුළ සැකපිට අත්අඩංගුවට ගත් බව මහරගම පාලීසිය සඳහන් කරයි.ඒ අතර කාන්තාවන් පහළොස් දෙනෙකු පමණ සිටින බව ද පොලීසිය කියයි. මොවුන් කණ්ඩායම් ලෙස පැමිණ සැලසුම් සහගතව රෙදි පිළි මිලදී ගැනීමට පැමිණෙන ජනතාව රවටා ඉතා සූක්ෂම ලෙස ඔවුන්ගේ රෙදි පිළි හා මුදල් පසුම්බි කොල්ලකා පලායාමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබූ බවත් ඇතැමුන් දුර පළාත්වල සිට පැමිණීම නිසා පොලීසියේ පැමිණිලි කර නොතිබූ බවත් පැවසේ. එහෙත් ලද පැමිණිලිවලට අනුව සැකකටයුතු ලෙස රැඳී සිටි කාන්තාවන් 15දෙනෙකු ඇතුළු 125 පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර ඇති අතර ඊට අමතරව ආවේෂණ රාජකාරියෙන් හා නිල ඇඳුමින් මහරගම නගරය හා ඒ අවට පැය 24 පුරා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් රාජකාරියේ යොදවා විනාඩී විස්සකට වරක් ශබ්ද විකාශන යන්ත්‍ර හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් පවසන පොලීසිය යම් සිදුවීමක් වෙතොත් හැකි ඉක්මනින් පොලීසියේ පැමිණිලි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.




මේ දිනවල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රෙදිපිළි මිලදී ගැනීමට මහරගම පමුණුවට පැමිණෙන නිසා පැය 24 පුරා ගනුදෙනු සිදුවීමෙන් මෙසේ ගැටකපන්නන් වැඩිවී ඇති නිසා නන්නාදුනන පුද්ගලයන් ඉදිරිපිට දී මුදල් පසුම්බි වැනි දෑ භාවිත නොකරන ලෙස ද පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේම මිලදී ගන්නා යම් භාණ්ඩයක් වෙතොත් ඒවා නොහඳුනන පුද්ගලයන් භාරයේ තබා බැහැරට නොයන ලෙසද ජනතාව දැනුවත් කරයි.අත්අඩංගුවට ගත් පිරිස අතර දුර පළාත්වලින් පැමිණ කණ්ඩායම් වශයෙන් සෑදී ජාවාරමේ නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් වයස අවුරුදු 18 -59 වයසේ පසුවන්නන් බව පැවසේ.

 ශාන්ත ප්‍රදිප් කුමාර කුලරන්න