පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සේවයේ නිරතව සිටින නිලධාරිනියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇගෙන් රුපියල් ලක්ෂ 13කට අධික මුදලක් ලබාගෙන ඇයට පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත පොලිස් නිලධාරියකු මුල්ලේරියාව පොලිසිය පෙරේදා (25) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නිලධාරින් දෙදෙනා කාලයක් තිස්සේ ඉතා ළඟින් ඇසුරු කරමින් සිට ඇති බව පොලිසිය කියයි. දෙදෙනාම කොස්තාපල්වරුන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත පොලිස් නිලධාරියා විසින් අංගොඩ ප්‍රදේශයේ සැලුන් ආයතනයක් ආරම්භ කර තිබෙන බව ද පොලිසිය සඳහන් කරයි.
එහි කටයුතු සඳහා පොලිස් නිලධාරියා විසින් නිලධාරිනියගෙන් රුපියල් ලක්ෂ 13කට අධික මුදලක් විටින් විට ලබා ගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.
මෙම නිලධාරිනිය සිය පොලිස් පෙම්වතාගේ සැලුන් එකට ගිය අවස්ථාවේදී දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මුල් කරගෙන නිලධාරියා විසින් නිලධාරිනියට පහර දී ඇත.
ඒ සම්බන්ධයෙන් නිලධාරිනිය මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත්තේ සිය පොලිස් පෙම්වතා මුදල් වංචා කර තමාට පහර දුන් බවය. ඒ අනුව විමර්ශන පවත්වා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය සඳහන් කළේය.
(ගයාන් කුමාර වීරසිංහ)
0 Comments