ragama-hospital-death

රාගම ශික්ෂණ රෝහලේදී එන්නතක් දීමෙන් පසු මියගිය රෝගියාට දුන් එම ප්‍රතිජීවක එන්නත වන කො-ඇමොක්සික්ලෙව් ලබාගත් රෝගීන් දස දෙනකු මේ වන විට මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවැසීය.ඉන් මරණ අටක් පසුගිය වසරේදී

වාර්තා වීම කැපී පෙනෙන බවත් ඔහු සඳහන් කළේය.ඖෂධ කාණ්ඩයකින් කැපී පෙනෙන සංකූලතා තුනකට වඩා සිදු වුවහොත්, එම ඖෂධය සම්බන්ධයෙන් ගත යුතු සුවිශේෂී ක්‍රියාමාර්ග නිශ්චිතව සඳහන්ව ඇතත්, ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒවා සාමාන්‍ය තත්වයන් ලෙස බැහැර කිරීම කැපී පෙනෙන ගැටලුවක් බවත් කුමුදේශ් මහතා කීවේය.

නිසි පරීක්ෂාවකින් තොරව, ආසාත්මිකතා මරණ සාමාන්‍යකරණය කිරීමට ඖෂධ නියාමන අධිකාරිය දිගින් දිගටම උත්සාහ කරන බවත්

ඔහු තවදුරටත් පැවැසීය.රාගම ශික්ෂණ රෝහලේ රෝගියා මිය යාමට මතභේදාත්මක කො- ඇමොක්සික්ලෙව් එන්නත හේතු වූයේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.එම විමර්ශනය සඳහා මේ වන විටත් වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති බවත්, මෙදින මෙම විමර්ශන කටයුතු ආරම්භ කරන බවත් ඔහු කීවේය.මේ සම්බන්ධයෙන් රාගම රෝහලෙන් ද විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බව එහි අධ්‍යක්ෂ, වෛද්‍ය සම්පත් රණවීර මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් රෝහල අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, රෝගියා මියගොස් ඇත්තේ මෙම එන්නත විෂ වීම සම්බන්ධයෙන් ද යන්න එහිදී අනාවරණය වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට කො-ඇමොක්සික්ලෙව් එන්නත් දීමෙන් පසුව හදිසියේම ඉකුත් 27 වැනිදා මියගියේය.රෝගියා කනේ කැක්කුමක්

සම්බන්ධයෙන් බෙහෙත් ගැනීමට රෝහල්ගතව ඇති අතර, මතභේදාත්මක කො-ඇමොක්සික්ලෙව් එන්නතක් දීමෙන් පසුව ඔහු මියගියේය.

මෙසේ මියගොස් ඇත්තේ, මාතර මාවරල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන, 50 හැවිරිදි පුද්ගලයකු වන අතර, ඔහු රාගම ශික්ෂණ රෝහලේ 21 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.රෝගියාට එම එන්නත මෙයට පෙර 11 වතාවක් එන්නත් කර ඇති අතර, 12 වැනි වර එය එන්නත් කිරිමෙන් පසුව ඔහු මියගිය බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් මැද කනේ ඇති වූ ආසාදන තත්වයක් හේතුවෙන් ඉකුත් 22 වැනිදා ඔහු රෝහලට ඇතුළත්ව ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවැසීය.
නිමල කොඩිතුවක්කු