ranil-orders-stop-foreign-trips

ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන කටයුතු සඳහා පැමිණීම අවශ්‍ය බැවින් හැකිතාක් විදේශ ගමන් සීමා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.



මැයි රැළියෙන් පසු මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන වැඩකටයුතු වේගවත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබේ.

ජනාධිපතිවරණය ඍජුව ඉලක්ක කර ගනිමින් දේශපාලන වැඩකටයුතු දියත් කිරීමේ උපායක් ලෙස මෙම රැළිය මෙවර මහා පරිමාණයෙන් පැවැත්වීමට එම පක්ෂය සැලසුම් කර තිබේ. මේ වන විට පක්ෂය වෘත්තීය කණ්ඩායම් සමඟ රට පුරා රැස්වීම් පවත්වමින් සිටී.

පක්ෂ සහ කණ්ඩායම් රැසක් එක්වීමට නියමිත පුළුල් සන්ධානයක් නියෝජනය කරමින් මැතිවරණයට සහභාගී වීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.

මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් ඔහු පිටුපසින් සිටින අතර පක්ෂයේ අනෙක් පාර්ශවය තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙස අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියා සිටියේ ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර මට්ටමට සමාන වෙනත් අපේක්ෂකයෙකුට නොහැකි බවයි.



ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සමඟ සම්බන්ධ වන්නේ දැයි කළ විමසීමකට පිළිතුරු දුන් ඔහු, “ජනාධිපතිතුමාට ඕනෑම පක්ෂයක් සමඟ වැඩ කිරීමට හැකියාව තිබෙනවා. වෙනත් කිසිම නායකයෙකුට කළ නොහැකි දේ ඔහු ඉටු කළා.”