ශ්‍රී පාදස්ථානය මාර්ග හතරක් ඔස්සේ පැය 24ක් තුළ කරුණා කර ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්රාමලත් නිලධාරි රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (61) මහතා (08) දින පස්වරු 3ට හැටන් මාර්ගය ඔස්සේ ගමන් ආරම්භ කළේය.
ගිනස් ලෝක වාර්තා සංවිධානයේ මෙරට නියෝජිතයන්ගේ අධීක්ෂණය යටතේ විශ්රාමික නාවික නිලධාරි රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා පළමුව නල්ලතන්නියෙන් ගමන් ආරම්භ කර ශ්‍රී පාද උඩමළුව වෙත ගොස් දෙවනුව ශ්‍රී පාද එරත්න මාර්ගය ඔස්සේ අඩවි කන්දට බැස නැවත එම මාර්ගයේම ශ්‍රී පාද උඩමළුවට ළඟාවීමට නියමිතය.
තෙවනුව ශ්‍රී පාද උඩමළුවේ සිට ශ්‍රීපාද පලාබද්දල මාර්ගය ඔස්සේ පහළට බැස එම මාර්ගයෙන්ම යළිත් ශ්‍රී පාද උඩමළුව වෙත ළඟා වී සිව්වනුව ශ්‍රී පාද උඩමළුවේ සිට ශ්‍රී පාද මාලින්බොඩ මාර්ගය ඔස්සේ පහළට බැස එම මාර්ගයෙන්ම ශ්‍රී පාද උඩමළුව වෙත ළඟා වී නැවත (09) දින පස්වරු 3ට නල්ලතන්නිය වෙත ළඟා වී ශ්‍රී පාද කරුණාව අවසන් කිරීමට නියමිතය.
රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතා ශ්‍රී පාදස්ථාන මාර්ග හතරක් ඔස්සේ ගමන් කරන දුර ප්රමාණය කිලෝමීටර් 88.8ක් බවයි ගිනස් ලෝක වාර්තා සංවිධානයේ මෙරට නියෝජිතයන් කියා සිටියේය. ප්‍රින්ස්ලි ලියනගේ මහතාගේ ගිනස් ලෝක වාර්තාව පිහිටුවීමට ශ්‍රී ලංකා නාවික හමුවේ භට පිරිසකගේ සහයෝගය ලැබී ඇති අතර, එම නාවික හමුදා නිලධාරින්ද ඔහුගේ ආරක්ෂාවට ඔහු සමඟ ගමන් කරන අයුරු දක්නට ලැබුණි.
(08) දින පස්වරුවේ නල්ලතන්නිය ශ්‍රී පාද නාග විහාරයේදි ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ මහතාගේ බිරිය ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සහ නාවික හමුදා නිලධාරින්ගේ සුබ පැතුම් මැද්දේ ශ්‍රී පාද කරුණාව ආරම්භ කෙරිණ.
හැටන් - රංජිත් රාජපක්ෂ
0 Comments