thanuja-jayawardane-parents-death

තනූජා ජයවර්ධන. ඇය අපි හැමෝගෙ ම ආදරණිය යෙහෙළියක් ඒ වගේම සහෝදරියක්. පසුගිය සතියේ දවසක ඇය අපට හමුවෙද්දී තනුජා හිටියේ බලවත් සිත් තැවුලෙන්. වෙනදා තිබුණු අව්‍යාජ සිනාව එදා අපි ඇඟෙන් දැක්කේ නැහැ. එකට හේතුව තමයි ඇය පණ වගේ ආදරය කරපු අම්මා හදිසියේම නොයන ගමන් ගිය එක.

"මට හිතාගන්න බැහැ ඇයි මෙහෙම වුණේ කියලා. අක්කා යන්නට ගිහින් ගත වුණේ බොහොම පුංචි කාලයයි. අම්මත් ඇය ළඟටම ගියා."
තනුජා බොහොම හිමිහිට ඒ වගේම සංවේදී විදියට අපි එක්ක කිව්වා.

තනුජාගේ මව හදිසියේම මෙලොව හැර යන්නේ හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන්.
"මට හිතා ගන්නවත් බැහැ. කවදාවත් අම්මා මේ විදිහෙ රෝග ලක්ෂණයක් පෙන්නුවෙත් නැහැ. ඇය හොඳින් හිටියා. පළමුවරට තමයි අම්මා මෙහෙම රෝගී වුණේ.

ඒ රෝගය දරුණුවට ඇවිත් යන්නම ගියා.

මම දන්නේ නැහැ දැන් ඇය නැතිව අපි කොහොම ජීවත් වෙන්නද කියලා. අම්මා තමයි අපිට හිටපු ශක්තිය. තනුජා එහෙම
කයලා ආපහු ටිකක් විතර නිශ්ශබ්දව හිටියා.

තනුජාගේ අම්මා අවසන් සුසුම් හෙලූ ආරංචියෙන් වඩාත් කලබලයට පත් වූ තවත් කෙනෙක් තම ඇගේ තාත්තා. "අම්මයි තාත්තයි දෙන්න හිටියේ හරිම ආදරයෙන්. ඒ දෙන්නා හරිම එකමුතුයි. ඒ දෙන්නට ඒ දෙන්නා නැතිව බැහැ. අම්මා අපිව දාලා ගියා කියලා දැන ගත්තම තාත්තා මහ හයියෙන් කෑ ගහලා ඇඬුවා. මට ඒක දැනුත් මැවිලා පේනවා. මම දන්නේ නැහැ ඉස්සරහට මොනවා වේවිද කියලා. අපි කොහොමද ගෙදර අම්මා නැතිව ඉන්නේ කියලා." තනුජා හිමිහිට කිව්වේ අම්මගේ දේහය දිහා බලන ගමන්.

තනුජා මාධ්‍ය ක්‍ෂේත්‍රයට ඇවිත් ඒ මාර්ගය ඔස්සේ අලුත් දේවල් කරමින් ඉදිරියට යද්දී වඩාත් සතුටු වුණේ ඇගේ අම්මයි තාත්තයි දෙන්නා. ඒ අතරින් අම්මා ඒ සම්බන්ධව හිටියේ පුදුමාකාර සතුටකින්. ඉදිරියට යන කිසිම දරුවෙකුට තමන්ගේ දෙමවුපියන්ගෙන් සහයෝගයක් ලැබෙන්නේ නැත්නම්, අගය කිරීමක් නැත්නම් ඒ දරුවා මානසිකව ඇද වැටෙනවා. එහෙමත් නැත්නම් කරන දේ අතරමඟ නවත්වනවා. ඒ මුකුත්ම නැත්නම් මවුපිය දූ දරු සබඳතාව කඩා වැටෙන විදිහට කරුණු කාරණා සිදුවෙනවා.



තනුජා ඒ අතින් හරිම වාසනාවන්තයි. ඇයට අම්මා තාත්තා දෙන්නගේ උපරිම සහයෝගය ලැබුණා. අම්මා නිතරම වාගේ ඇගේ පිටුපස හිටියා. ඇයට උදව් කළා. තනුජාගේ දියුණුව දැකලා හදවතින්ම සතුටු වුණා. ඇය ඒ සතුටත් භුක්ති විඳලා තමයි යන්න ගියේ.
"අනික මම අක්කා මියගිය මාසේ ඉඳලා හැම මාසෙකම 14 වැනිදාට අම්මා එක්ක එකතුවෙලා මොනවා හරි පින්කමක් කළා.
ඒ පින්කම මෙදා කරන්න ලැබුණේ මටයි තාත්තටයි එකතුවෙලා. මොකද 13 වැනිදා අම්මා යන්න ගිය නිසා."
තනුජාගේ අක්කා චාමලි. ඇය හදිසියේම වාගේ ජීවිතය හැරගිය දවසේ ඉඳලා තනුජාගේ අම්මා හිටියේ ලොකු දුකකින්. ඒ දුක නැති කරන්න, එහෙමත් නැත්නම් අඩු කරන්න තනුජා නිතරම වගේ ඇය සමඟ වෙනදාටත් වඩා වැඩිපුර කාලය ගත කළා.

"අම්මයි මමයි දුරින් හිටියොත් අපි දුරකථනය ඔස්සේ කතා කළා. ගෙදර ඉන්න වේලාවට අපි දෙන්නා හුඟාක් දේවල් කතා කරන්නේ කෑම කන වෙලාවට. ඊළඟට ටීවී එක බලලා ඉවර වුණාම. අපි දෙන්නා අතර කවදාවත් ප්‍රශ්න තිබුණේ නැහැ. ඔය ඉඳලා හිටලා හරි මට මොනවා හරි කිව්වොත් කියන්නේ ඉරිච්ච ඩෙනිම් අඳින වෙලාවට විතරයි. ඒ වේලාවට කියනවා " ඉන්නකෝ මම නූලක් අරන් ඕක මහනවා " කියලා. ඒ ඇරෙන්න මුකුත් නැහැ."
සාමාන්‍යයෙන් අපි දන්න කියන හැමෝම වගේ මේ විදිහට හෘදයාබාධ හැදිලා මිය යන්නේ තවත් ලෙඩ රෝග ගණනාවකින් පීඩා වින්දොත් තමයි. ඒත් තනුජාගේ අම්මා එහෙම රෝගී කාන්තාවක් නෙවෙයි. ඇය බෙහෙත් අරන් තිබුණේ සීනි වැඩි වෙච්ච වෙලාවට විතරයි.

"එදා ඔය විදියට අපි හැරගිය දවසට කලින් දවසෙත් අම්මා රුධිර පරීක්‍ෂණයට පෙනී සිටියා. සාමාන්‍යයෙන් මම අම්මා තාත්තා දෙන්නවම මාසයකට සැරයක් විශේෂඥ වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවනවා. ඒක මම හැම මාසයකදීම කළා. ඒ දෙන්නට පෝලිමේ ඉන්නවත් මම දෙන්නේ නැහැ. කොහොම හරි නොම්බර 1-5 අතර ගන්නවා.

එහෙම තමයි මේ දෙන්නා ගැන මගේ අවධානය තිබුණේ.
ඉතින් කොහොම හරි අන්තිමට බලපු ටෙස්ට් එකේදීවත් එහෙම රෝගී තත්ත්වයක් පෙන්නුම් කළේ නැහැ."
කොහොම හරි තනුජාගේ අම්මා මෙලොව හැර ගිය දවසෙත් ඒ හැටි ලොකු රෝගී තත්ත්වයක් ඇගෙන් පෙන්නුම් කර තිබුණේ නැහැ. ඒක ගැනත් තනුජා අපිත් එක්ක කිව්වේ මෙන්න මේ විදිහටයි.
"එදා දවල් තාත්තා මට කතා කරලා කිව්වා අම්මා ටිකක් පපුව රිදෙනවා කියනවා. ඔයා දැන් කොහෙද ඉන්නේ කියලා.
මම ඒ වෙලාවේ කිව්වා මම ගෙදර එන ගමන්. මම විනාඩි පහකින් ගෙදර කියලා. ඉතින් එහෙම ගෙදර ආවා. අම්මා සාමාන්‍ය විදියට හිටියා. නමුත් ඉස්පිරිතාලේ යන්න ලෑස්ති වෙලා හිටියා.

ඔය විදියට ඉතින් මම ගෙදර ආවහම අම්මා කාර් එකටත් නැග්ගා. එහෙම ගිය ඇය තමයි යන්නට ගියේ.”
තනුජාගේ අම්මා බොහොම පරිස්සමට ජිවත් වූ කෙනෙක්. ඇය විකෘති දේවල් ආහාර වේලට එකතු කර ගන්නෙම නැහැ.
බොහෝ විට ආහාරයට ගන්නේ දේශීය දේවල්. ඒ වගේම ඇගේ දින චරියාවත්. ඉතින් ඒ විදිහට හිටපු ඇයට එක පාරටම මෙහෙම වුණේ කොහොමද කියන ප්‍රශ්නය තනුජාගේ හිතේ තවමත් තියෙනවා.

"අක්කා නැති වුණාට පස්සේ මට පුදුමාකාර විදිහේ පාළුවක් දැනුණා. මොකද මම සමහර තීන්දු තීරණ ගන්න කොට අක්කාගෙන් ඒක ගැන අහනවා.
ඊළඟට අම්මා. ඇය සමග මට තිබුණු ගනුදෙනුවත් ඒ වගේ එකක්. දැන් ඒ දෙන්නම මගේ ජීවිතය තුළ නැහැ. ඒත් මම එහෙම කියලා ඒ දෙන්නව අමතක කරලා කිසිම දෙයක් කරන්නේ නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් ආ පසු ඒ දෙන්නව මම මතක් කර ගන්නවා. ඒ අය මට දුන්න උපදෙස් මතක් කර ගන්නවා. ඒ අනුව කටයුතු කරනවා. මම දන්නවා මේ දෙන්නම කැමති අකැමැති මොනවද කියලා. ඒ දේවල් මතක් කරගෙන ජිවත් වෙනවා. අම්මා අක්කා දෙන්නා හැමදාමත් මගේ ජීවිතය තුළ ඉඳිවී. ඒක පහසුවෙන් අමතක කරන්න බැහැ. ඊළඟට තාත්තා. ඔහුත් වෙනදාට වඩා මගේ ජීවිතය තුළ ඉඳිවී.'


සමන් ප්‍රියංකර නම්මුනිගේ