1-dead-30-injured-severe-turbulence-Singapore-air-plane

 ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දැඩි කැළඹීමකට ලක්වීමෙන් 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මිය ගොස් මගීන් 30 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි අද (21) විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

Boeing 777-300ER යානයක හදිසියේ ඇතිවූ මෙම අසාමාන්‍ය තත්වය නිසා සිංගප්පූරුවට යාමට පෙර තායිලන්තයේ බැංකොක් වෙත හදිසි ගොඩබෑමක් සිදු කිරීමට සිදුව ඇති අතර, යානය වායු සුළියකට හසුවීම නිසා ඇතිවූ කැළඹීම් නිසා මිනිසුන් සහ වස්තූන් අවට විසිරී යාමත් සමඟ ඇතුළත මැදිරි අවුල් සහගත වූ බව වාර්තාවේ.
ගොඩබෑමට පෙර යානය ඇලවීමේ සහ සෙලවීමේ භයානක අත්දැකීමකට මුහුණදුන් බව මගීන් විස්තර කර තිබේ.
යානයේ සෙලවීම සමග උඩ රදවා තිබන බෑග් රාක්ක මගීන් හිස මත​ට කඩාවැටීම් නිසා අනතුරු සිදුවිය.
ගොඩබෑමෙන් පසු අසාධ්‍ය තත්වයේ පසුවූ 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික වයෝවෘද්ධ පුද්ගලයා මියගියේය.


30 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර 7 දෙනෙකු බරපතල තතවයේ බවද වාර්තාවෙයි.ඉතිරි පිරිස ගුවන් තොටුපලේදී පරීක්ෂා කර ප්‍රතිකාර ලබමින් සිටින බව ගුවන් සමාගම තහවුරු කළේය. ආධාර සැපයීම සඳහා තායි බලධාරීන් ගිලන් රථ සහ හදිසි කණ්ඩායම් යවා ඇත.
ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී සිංගප්පූරුව බලා පිටත් වූ SQ321 ගුවන් යානයේ මගීන් 211 ක් සහ කාර්ය මණ්ඩලයේ 18 දෙනෙක් සිටියහ.
සිංගප්පූරු ප්‍රවාහන අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කළ අතර මගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහය පළ කිරීමට ප්‍රතිඥා දුන්නේය.

සාමාන්‍යයෙන් වලාකුළු හරහා පියාසර කිරීම නිසා ඇතිවන කැළඹීම් ගුවන් ගමන් වල සුලභ සිදුවීමකි. කෙසේ වෙතත්, කාලගුණ රේඩාර් මත නොපෙනෙන පැහැදිලි වායු කැළඹීම්, අනපේක්ෂිත හා භයානක විය හැකි බව විශේෂඥ මතයයි. කැළඹීම්වලදී සිදුවන තුවාල වළක්වා ගැනීම සඳහා ගුවන් යානයක් පුරාවටම ආසන පටි සවිකර තබා ගැනීමේ වැදගත්කම ගුවන් සේවා විශේෂඥයන් නිතර අවධාරණය කර තිබේ.
පසුගිය වසරේ මැයි මාසයේදී දිල්ලි-සිඩ්නි එයාර් ඉන්දියා ගුවන් යානයක ඇති වූ කැළඹීම් හේතුවෙන් මගීන් කිහිප දෙනෙකුට තුවාල සිදු විය.

දේශගුණික විපර්යාස අනාගතයේ දී දරුණු කැළඹීම් වැඩි වීමට හේතු විය හැකි බවටද මෑතකාලීන පර්යේෂණ පෙන්වා දී ඇත.