4-Sri-Lankans-linked-to-ISIS-arrested-in-India

ISIS සංවිධානය හා සම්බන්ධ යැයි සැකපිට ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත විරෝධී බළකාය (ATS) විසින් අහමදාබාද්හි පිහිටි සර්දාර් පටෙල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සැකකරුවන් සිව්දෙනා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ චෙන්නායි නුවර හරහා අහමදාබාද් නුවර වෙත පැමිණ ඇති අතර ඔවුන් මොහොමඩ් නුස්රට්, මොහොමඩ් නුෆ්රාන්, මොහොමඩ් ෆාරිස්, මොහොමඩ් රාඩ්‍රෝන් ලෙස හදුනාගෙන තිබේ. ඉන්ඩිගෝ ගුවත් සේවයට අයත් Ge 1176 දරන ගුවන් යානයෙන් පසුගිය සෙනසුරාදි දින මෙම සිවුදෙනා ශ්‍රීලංකාවෙන් පිටත්ව ගොස් ඇති අතර චෙන්නායි නුවර සිට අඟමදාබාද් වෙත පැමිණ ඇතැයි සඳහන් වෙයි. ගුජරාට ආරක්ෂක අංශ සදහන් කරන ආකාරයට මෙම පිරිස සහ පාකිස්තානයේ ISIS ත්‍රස්තවාදී කණ්ඩායමක් අතර සබඳතාවක් පවතින බවත් විශ්වාස කෙරේ.



"මෙම සිව්දෙනා තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන ISIS හි ක්‍රියාකාරි සාමාජිකයන් බවට තහවුරු වී තිබෙනවා. ඔවුන් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ අන්තවාදී ඉගැන්වීම්වලට සම්බන්ධයි. මෙම පිරිස අනිවාර්යයෙන්ම ඉන්දියාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු කිරීමට සැලසුම් කර තිබුණා.”  යනුවෙන් ගුජරාට ප්‍රාන්තයේ පොලිස් අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව මෙම සිව්දෙනා ගුජරාට ත්‍රස්ත විරෝධී බළකාය විසින් ඉදිරි ප්‍රශ්න කිරීම් සදහා රහසිගත ස්ථානයක් වෙත රැගෙන ගොස් තිබේ. මොවුත් ඊයේ මෙලෙස එම ජාත්‍යන්තර ගුවන් තොටු පොළ වෙත පැමිණි හේතුව කුමක්ද යන්න පිළිබඳවත් මෙතෙක් අනාවරණය වී නැත.

ගුජරාට ප්‍රාන්තයේ පොලිස් අධ්‍යක්ෂ ප්නරාල්වරයාට අනුව මෙම සිව්දෙනා මැයි 18 හෝ 19වැනිදා ගුරාටය වෙත දුම්රිය මගින් හෝ ගුවන් මගින් පැමිණීමට නියමිතව තිබූ බවට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව දුම්රිය ස්ථාන සහ ගුවන් තොටුපොළ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති ආකාරයට මෙම සිව්දෙතා පාකිස්තානයේ සිටින අබු බකර් බන්දාදි නම් ISIS නායකයෙකු සමග සම්බන්ධතා පවත්වා ඇති අතර, ඉන්දියාව තුළ ප්‍රහාරයක් සඳහා මෙම පිරිස උනන්දු කර ඇත්තේ ඔහුය. ඒ සදහා ඔහු විසින් මෙම පිරිසට ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ හතරක් ලබාදී ඇතැයිද සදහන් වෙයි.

මෙම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම සිව්දෙනා සතුව තිබූ ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට ගෙන ඇත. ඒවායේ තිබූ ඡායාරූප සහ වීඩියෝ අනුව ඔවුන් ISIS සංවිධානයේ සාමාජිකයන් බවට සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ.එසේම එම එක් දුරකථනයක තිබූ අහමදාබාද්හි නානා විලෝඩා නම් ප්‍රදේශයේ ස්ථානයක ඡායාරූපයකට අනුව සිදු කළ සෝදිසියකදී ඔවුන්ට ලබාදීමට සඟවා තිබූ ආයුධ කිහිපයක්ද හමුව ඇතැයි ගුට් පොලිස් ප්‍රධානියා පවසා තිබේ. මෙම ආයුධ අතර පාකිස්තානයේ නිෂ්පාදිත පිස්තෝල තුනක් සහ වෙඩි උණ්ඩ ප්‍රමාණයක්ද තිබී ඇතැයි ඔහු සඳහන් කර ඇත.



මේ අතර ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි වටයේ තරග සදහා කණ්ඩායම් තුනක් ඊයේ දිනයෙදී එම ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබුණු අවස්ථාවේදී මෙම සිව් දෙනා එම ගුවන් තොටුපොළට පැමිණීමේ සම්බන්ධතාවක් පවතින බවටත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. පසුගිය මැයි 12වැනිදාද මෙම ගුවන් තොටුපොළ වෙත බෝම්බ තර්ජනයක් ඇති විය.මේ අතර, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ඉන්දීය බුද්ධි අංශ සමග මෙම පුද්ගලයන් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙම පුද්ගලයන් සිවුදෙනා ශ්‍රී ලංකාවේ දී සිදුකළ කාර්යයන් හා ඔවුන් ඇසුරු කළ ජාලය පිළිබද විමර්ශන ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙක් පුවත්පතට පැවසීය.