Another-attack-on-a-civilian-tent-camp-in-the-Gaza-Strip-21-dead

ලෝක හෙළා දැකීම සහ විවේචන හමුවේ ඊශ්‍රායලය නැවතත් ගාසා තීරයේ අවතැන් වූවන්ගේ කූඩාරම් කඳවුරුවලට පහර දී තිබේ. මෙම ප්‍රහාරය නිසා අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙකු මිය ගිය බවත්
පනස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ දකුණු ගාසා නගරය වන රෆා අසල අල්-මාවාසි හි අවතැන් වූවන් සඳහා වූ කූඩාරම් කඳවුරකදීය.

කටාර් පදනම් කරගත් අල් ජසීරා බදාදා (මැයි 29) වාර්තාවකින් මෙම තොරතුරු වාර්තා කළේය.



පලස්තීන වෛද්‍ය නිලධාරීන් සහ පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ඊශ්‍රායල බෝම්බ අවතැන් වූ පවුල්වල කූඩාරම් කඳවුරකට පහර දුන් බවයි. කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 21 දෙනෙක් මිය ගියහ.

ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විදුලි පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් තවත් 64 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

පලස්තීන ප්‍රවෘත්ති ඒජන්සිය වන Wafa වාර්තා කළේ අල්-මාවාසි ප්‍රදේශයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය අල්-මාවාසි වෙත ප්‍රහාරය එල්ල කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.  හමුදා ප්‍රකාශයක් පැවසුවේ, 'අයිඩීඑෆ් (ඊශ්‍රායල් ආරක්ෂක බලකාය) පසුගිය පැය කිහිපය තුළ අල්-මවාසීර් හි මානුෂීය ප්‍රදේශයට ප්‍රහාර එල්ල කර නැත. ' යනුවෙනි.

ඊශ්‍රායල හමුදාවන්ගේ ප්‍රකාශයට පටහැනිව, Al Jazeera හි Hind Khoudari ගාසාවේ Deir al-Balah වෙතින් වාර්තා කළේ, 'ඊශ්‍රායල හමුදා තවත් තාවකාලික කූඩාරම් කඳවුරක් ඉලක්ක කළ බවත්, එහි වැඩි පිරිසක් කාන්තාවන් සහ ළමුන් බවත්ය. '

රෆා නගරයේ රෝහලක් නැතිවීමත් ගිලන් රථයක් නැතිවීමත් මැද තත්වය දරුනු වූ අතර කූඩාරමට ඊශ්‍රායල ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය සියලුම දෙනා ජාත්‍යන්තර වෛද්‍ය බලකායේ ක්ෂේත්‍ර රෝහල වෙත යවා තිබේ.



මීට පෙර පසුගිය ඉරිදා (මැයි 26) රාත්‍රියේ ඊශ්‍රායලය රෆා නගරයේ අවතැන් වූවන්ගේ කඳවුරටද ප්‍රහාර එල්ල කළේය. Tal as-Sultan කූඩාරම් කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පලස්තීනුවන් 45 දෙනෙකුවත් මිය ගිය බවත් කූඩාරම තුළ සිටි බොහෝ දෙනෙක් පිළිස්සී මිය ගිය බවත් වාර්තාවී තිබිණි.

හමාස් සංවිධානය ඉලක්ක කර ගනිමින් ඊනියා ‘ආරක්ෂිත කලාපය’ තුළ නිරවද්‍ය අවි යොදා ගනිමින් ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායල හමුදා ඒ ගැන ප්‍රකාශ කළේය.