Cabral-and-others-are-acquitted-in-the-Greek-bond-case-even-though-they-actually-invested-and-caused-losses-to-the-country

2012 වසරේ ග්‍රීසියේ බැදුම්කරවල ආයෝජන සිදු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් 5 දෙනා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කරනු ලැබුණි.

අජිත් නිවාඩ් කබ්රාල්, කංකානම්ගේ ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ, බෙන්දරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ හරංකහ ආරච්චිලාගේ කරුණාරත්න යන අය මේ අනුව නිදහස් විය.
අල්ලස් හෝ දූෂණ විර්ශන කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙහිදි මූලික විරෝධතා මතුකර තිබුනේ තාක්ෂණික වශයෙන් නඩුව ගොනු කළ ආකාරයේ දෝෂයක් පෙන්නුම් කරමිනි.
විත්තිය විසින් මතු කළ ආකාරයට මෙම විත්තිකරුවන්ට අදාළ අධි චෝදනා පත්‍රය අත්සන් කළ මාර්තු මස 26 වනදා නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු පත්කර නොතිබූ බවත්
නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කරනු ලැබුවේ අප්‍රේල් මස 02 දා යැයි පෙන්වා
දී තිබුනි.


මෙය පිළිගත් මහාධිකරණ විසුරුවරයා, ඒ අනුව නව දූෂණ විරෝධී පනත යටතේ ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයකට පැරණි පනත යටතේ පත්කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අත්සන් තැබීම නීතියට පටහැනි බව පෙන්වා දුන් අතැර මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවේය.

මෙම අධි චෝදනා පත්‍රය නීතිය ඉදිරියේ වලංගු භාවය අභියෝගයට ලක්කර ඇති හෙයින් ඔවුන්ට එම අධි චෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම චෝදනාව එනම්, කබ්රාල් මහ බැංකු අධිපති තනතුරේ සිටියදී එවක බංකොලොත් වෙමින් පැවති ග්‍රීසියේ  බැඳුම්කර වල ශ්‍රී ලංකාවේ මහජන මුදල් ආයෝජනය කිරීම අසත්‍යයක් ලෙස මෙම තීන්දුව අනුව අදහස් නොවේ.



ශ්‍රී ලංකා මහ බැංකුව ග්‍රීසියේ බැඳුම්කර මිලදී ගැනීමේ ගනුදෙණුව නීති විරෝධී ආයෝජනයක් බවත් එමගින් මහජන මුදල් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බවත්, ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේරසිංහ මහතා 2012දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ ගැන විමර්ශන ඇරඹිණි.
2010 වසරේදී ග්‍රීසියේ ආර්ථිකය අර්බුදයකට ලක්ව කඩා වැටෙමින් තිබියදී මෙලෙස දැවැන්ත මුදලක් එරට බැඳුම්කර මිලදී ගැනීම වෙනුවෙන් ආයෝජනය කිරීම පිළිබඳ තොරතුරු ඊට ඉහත හෙළිදරව් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණුනායක අනුර දිසානායක මහතාය. ඔහු එවකට පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ විරෝධය පළකරමින් හෙළිදරව් කිරීමක් සිදු කළේය.
කෙසේ වෙතත් සුජීව සේනසිංහගේ තොරතුරු අනුව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනා නඩු විභාගය වසර 12 ක් තිස්සේ මන්දගාමීව විමර්ශනය විය.

නඩුව පවරන්නට පෙර 2017දී ග්‍රීක බැඳුම්කර ආයෝජන සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් දීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම වෙත පැමිණියේය. මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහනක් ලබාදුන් අතර  අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය.

“ග්‍රීසියේ මහ බැංකුව ආයෝජනය කළ අවස්ථාවේ දී, ග්‍රීසියේ තිබිච්ච ශ්‍රේණිය අද ලංකාවේ තිබෙන ශ්‍රේණියටත් වඩා ඉහළ ශ්‍රේණියක්. ග්‍රීසියේ ආයෝජනය වැරදි ආයෝජනයක් නම් ලංකාවේ ආයෝජනය කරන සියලුම අය කරන්නේ වැරැද්දක්.“ ලෙසිනි.


කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් 2012 වසරේදී ග්‍රීක ආයෝජනයෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි එකසිය පණහක් පාඩුවූ බව පිළිගෙන තිබුණි.

කෙසේ වෙතත් 2012 ජුලි හත් වැනිදා නිකුත් කළ නිවේදනයකින් මහා බැංකුව ප්‍රකාශ කොට තිබුනේ ග්‍රීක බැඳුම්කර වල ආයෝජනය සමස්ත යුරෝපීය ආයෝජනයෙන් අංශු මාත්‍රයක් වන හෙයින් වෙනත් ආයෝජන වල ලාභයෙන් පාඩුව පියවා ගැනුණු බවයි.