Dr-Alireza-Delkhosh-ccc-attack

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්ක්‍රොස් මහතාට පහර දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ව්‍යාපාරිකයකු අද (20) දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

ඉරාන තානාපතිවරයා ඔහුට අයත් නිල රථයෙන් කොළඹ දෙක මුත්තයියා පාරේ පිහිටි කලම්බු සිටි සෙන්ටර් (CCC) වෙළෙඳ සංකීර්ණයේ රථගාලට පෙරේදා පැමිණි අවස්ථාවේ රථගාලේ සිටි ව්‍යාපාරිකයා ඉරාන තානාපතිවරයා සමඟ ආරාවුලක් ඇති කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.එහිදී ව්‍යාපාරිකයා ඉරාන තානාපතිවරයාට පහරදීමක් සිදු කර ඔහු පැමිණි මෝටර් රථයෙන් පළා යෑමට උත්සාහ කර ඇතැයි ද පොලිසිය කියයි.



පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ඉරාන තානාපති Dr.Alireza Delkhosh කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කොළඹ 07, වෝඩ් පෙදෙසේ පදිංචි බුවනෙක මහසෙන් බස්නායක (36) නැමැත්තා බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ සෙනසුරාදා සවස තානාපතිවරයා සිය වාහනය සීසීසී රථගාලේ නවතා තැබීමට උත්සාහ කිරීමේදී ආරවුලක් ඇති වූ බවයි. තානාපතිවරයාට පහරදීමෙන් පසු සැකකාර ව්‍යාපාරිකයා පැන යාමට උත්සාහ කළද තානාපතිවරයා මෝටර් රථයේ බොනට්ටුවට අත තබා එය වළක්වා ගැනීමට උත්සාහ කළේය.

තමන් පොලිසියට කැඳවීමට උත්සාහ කිරීමේදී සැකකරු මෝටර් රථය මීටර් කිහිපයක් ධාවනය කර තානාපතිවරයා බොනට්ටුව මතට විසි කළ බව තානාපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.



ව්‍යාපාරිකයා ඔහුට පහර දෙන විට ඉරාන තානාපතිවරයාගේ බිරිඳ ද මෝටර් රථයේ සිට ඇති බව පොලිසිය පවසයි.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පසුව තානාපතිවරයා ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත.

කොම්පඤ්ඤවීදිය පොලිසිය රථගාලේ සීසීටීවී දර්ශන ලබාගෙන ඇතත් සිද්ධිය වූ ප්‍රදේශය ආවරණය වන පරිදි කැමරා නොතිබූ බව ඔවුන් සඳහන් කළේය.

ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටියේ තමන් ගැටුම ඇතිකරගත් පුද්ගලයා ඉරාන තානාපති බව තම සේවාදායකයා නොදන්නා බවත්, ඇප ඉල්ලා සිටින බවත්ය.

කෙසේ වෙතත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා සැකකරු සඳුදා (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.