“මහත්තයා මට කිව්වා යාල කැලේදී කුළු මීමෙක් පිටිපස්සෙන් ඇවිත් එයාට ඇන්නා කියලා. පළමු දවසේ අපිත් එක්ක කතා කළත් පස්සේ සිහි නැති වුණා.” යැයි යාල වනාන්තරයේ දී කුළු මීමෙක් ඇනීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය ජාතුංග ගුණවර්ධන උපුල් ජයන්ත (58) නමැති තිදරු පියාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දුන් ඔහුගේ බිරිය පවසා සිටියේය.
මෙම මරණ පරීක්ෂණය ඉකුත් 24 වැනිදා කරාපිටිය ශික්ෂණ රෝහලේ දී හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් සිදුකරණ ලදි.
මියගිය තැනැත්තා හම්බන්තොට, මාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගව පට්ටියක හිමිකරුවකු වන ඔහු සෑම දිනකම උදෑසන ගවයන් යාල වනාන්තරයට ගෙනගොස් පසුව සවස ගවයින් රැගෙන ගව පට්ටියට පැමිණෙයි.
හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබාදුන් 47 හැවිරිදි අමරසිංහ ආරච්චිගේ ප්‍රියංගිකා සුදර්ශනී මහත්මිය මෙසේ ද පවසා සිටියේය.
“මියගොස් සිටින්නේ මගේ සැමියා. එයා හැමදාම කිරි දොවලා තියලා හරක් රංචුව අරගෙන යතුරුපැදියෙන් යාල කැලේට යනවා. හරක් දිගේලි කරලා නැවත සවස ගිහින් එක්කගෙන එනවා. මේ විදියට හරක් අරගෙන කැලේට යන තව අය ඉන්නවා. පසුගිය මැයි 19 වැනිදා උදේ පුරුදු විදියටම එයා හරක් රංචුවත් එක්ක කැලේට ගියා. එයා ගිහින් පැයකින් විතර මට කෝල් එකක් ආවා. කතා කරපු කෙනා කිව්වා මහත්තයාගේ පිටිපස්සෙන් කුළු මීමෙක් ඇවිත් ඇනලා වැටිලා ඉඳලා යාල සෆාරි ජීප් එකකින් දැකලා තිස්සමහාරාම රෝහලට අරගෙන ගිහින් කියලා. මම රෝහලට යනවිට සැමියාගේ කකුළටත් ගොඩක් තුවාල වෙලා තිබුණා.
බඩෙත් තුවාල තිබුණා. එදා රෝහලේ දී මහත්තයා මාත් එක්ක කතා කළා. පොලිසියටත් කටඋත්තරයක් දුන්නා. ඒත් පසුව ටික ටික අමාරු වෙලා සිහි නැති වුණා. එතැනින් කරාපිටිය රෝහලට මාරු කරලා එව්වා. කරාපිටියේ දැඩි සත්කාර ඒකකයේ හිටියේ. එයාට දියවැඩියාව තියෙනවා.
වෛද්‍යවරු කිව්වා කකුල කපා ඉවත්කරන්න වෙනවා කියලා. කරාපිටිය රෝහලේ දී සැත්කමකින් සැමියාගේ වම් කකුල කැපුවා. ඉකුත් 24 වැනිදා උදේ මම මහත්තයා බලන්න එනකොට දැනගත්තා මියගිහින් කියලා.”
මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරී විෂාදි පෙරේරා මහත්මියගේ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්ෂි සැළකිල්ලට ගත් හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා තීරණය කළේ කුළු මීමා ඇනීමෙන් පෙණහැල්ලට තුවාල සිදුවීම සහ ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවයි. මියගිය පුද්ගලයාට නිව්මෝනියා තත්ත්වයක් ද ඇති වී තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබිණි.
(කරාපිටිය එස්. ලොකුකරවිට)
0 Comments