New style and English transcribed problems of Sapele science question paper

 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍ර ආකෘතිය නියමිත සැකසුම් නිර්දේශයට පරිබාහිරව සකස් කර ඇති බවට ගැටලු පැනනැගී ඇති අතර ඉංග්‍රීසි විෂය ප්‍රශ්න පත්‍රය පිටපත් කර බෙදාහැරීම සම්බන්ධ ගැටලුවක්ද පැනනැගී ඇත.

 අධ්‍යාපන අමාත්‍යාංශය 11 වැනි සහ 12 වැනි ශ්‍රේණිවල දරුවන්ට 2021 වසරේ අහිමි වූ කාලය වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර සකස් කරන ආකාරය පිළිබඳ දී ඇති උපදෙස් වලට පටහැණිව විද්‍යා ප්‍රශ්න පත්තරයේ බහුවරණ ප්‍රශ්න තුනක් සහ රචනා ප්‍රශ්න තුනක කොටස් තුනක් ඇතුළත් කර තිබූ බව මේ ගැන පැමිණිලි කළ අය දන්වා තිබේ.
විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන විභාගය අවසන් වීමෙන් පසුව සමාලෝචනයක් සිදු කර ඊට අදාළ නිර්දේශ සහ උපදේශ නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේය.

මේ අතර අපොස සාපෙළ විභාගයේ ඉකුත් 09 දින පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය කොටස් කීපයක් වශයෙන් පිටපත් කර වට්ස්ඇප් සමූහයක් හරහා උපකාරක පන්ති සිසුන් හට අන්තර්ජාලය හරහා මුදාහැරීමට කටයුතු කළේ යැයි සැක මත හසලක ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු 12 දින මහනුවර කොට්ඨාස පරිගණක අපරාධ අංශය මගින් අත් අඩංගුවට ගෙන තිබෙයි.



මෙම උපකාරක පන්ති ගුරුවරයා මහියංගණය, පුහුල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද උපකාරක පන්ති ගුරුවරයාගේ මව හසලක ප්‍රදේශයේ ප්‍රධාන පාසලක හිටපු විදුහල්පතිවරියක බවද පොලිසිය පවසයි.


මෙම පුද්ගලික උපකාරක පන්ති ගුරුවරයාගේ මෙන්ම ඔහුගේ මව සතුව තිබූ ස්මාර්ට් ජංගම දුරකතන දෙකක්ද පොලිසිය භාරයට ගෙන ඇත.
මෙම උපකාර පන්ති ගුරුවරයාගේ වට්ස්ඇප් ජාලය සමග දහසක් පමණ සිසුන් සම්බන්ධව සිටින බවට තොරතුරු ලැබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලිසිය, මහනුවර කොට්ඨාස පරිගණක  අපරාධ ඒකකය මෙන්ම  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත ය.