The-French-ambassador-died-suddenly-in-a-room-in-the-Rajagiriya-house

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජින් ෆැන්කොයිස් පොක්ටෙට් මහතා (Jean Francois Pactet) රාජගිරියේ පිහිටි ඔහුගේ නිල නිවෙසේ නිදන කාමරයේ ඇඳක් මත මියගොස් සිටිය දී ඊයේ (26) දහවල් සොයාගෙන තිබූ අතර 53 හැවිරිදි ඔහුගේ මරණය තවම අභිරහසකි.

තානාපතිවරයා උදෑසන අවදි නොවීම නිසා ප්‍රංශ තානාපති කාර්යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරින් ඒ ගැන විපරම් කර බැලීමේ දී සිරුර නිදන කාමරයේ ඇඳ මත තිබෙනු දැක ඇති බව වාර්තා කර තිබුණි.
ඔහුගෙන් ප්‍රතිචාර නැති නිසා පසුව වැලිකඩ පොලිසියට දැනුම් දී ඇත.
ප්‍රංශ තානාපතිවරයා තනිවම එම නිල නිවාසයේ වාසය කරමින් සිටියේය.
මරණයට හේතු තවමත් අනාවරණය වී නොමැත.
 මරණය සම්බන්ධයෙන් වන ස්ථානීය මරණ පරීක්ෂණය ඊයේ (26) රාත්‍රියේ දී සිදුකර තිබෙයි.
පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා තානාපතිවරයාගේ මරණයට හේතු සොයා ගැනීමට වැලිකඩ පොලිසිය කටයුතු යොදා ඇත.

ජීන් ෆ්රැන්කොයිස් පැක්ටේට් 2022 ඔක්තෝම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.


වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ඔහු මීට පෙර ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික හා අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ වැනි තනතුරු හොබවා තිබේ.

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුරෝපා තානාපතිවරුන් කණ්ඩායමක් සමග එක්ව පසුගිය දිනවල ප්‍රංශ තානාපතිවරයා සමීපව කටයුතු කරමින් සිටියේය.
 තානාපතිවරයාගේ අවසන් කටයුතු පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති අතර දේහය යළි ප්‍රංශය වෙත රැගෙන යන්නේ ද නැත්නම් අවසන් කටයුතු මෙරටදී සිදුකරන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (27) දිනය තුළ ලබාගන්නා බව තානාපති කාර්යාල ආරංචි දන්වා තිබේ.