adani-project-research

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ ජාතික පරිසර එකමුතුව විසින් පසුගියදා “ශ්‍රී ලංකාවේ පවතින බලශක්ති අර්බුදයට පිළියම් යෙදීම: පුනර්ජනනීය බලශක්තිය; ශ්‍රී ලංකාවේ වර්තමානය සහ අනාගතය සුරක්ෂිත කිරීම”  යන ශීර්ෂය යටතේ සකස් කල විශේෂ වාර්තාවක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා වෙත ලබා දී තිබේ.

එම වාර්තාවේ මූලික අවධානය සහ මාතෘකාව වූයේ ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තියේ වත්මන් තත්ත්වය සහ අනාගත විභවතාවන්ය. එම අවස්ථාවේ පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සභාපතිවරයා සමඟ රට තිරසාර මාවතේ වේගයෙන් ගමන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් රටේ පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවීම සඳහා තිරසාර භාවිතයන්හි වැදගත්කම සහ උපාය මාර්ග පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ පාහියන්ගල හිමියන්, “රටේ වියදම් දිහා බලනකොට අපිට පේනවා අපේ රටේ විදේශ සංචිතවලින් සැලකිය යුතු කොටසක් බලශක්ති නිෂ්පාදනය සඳහා ගල් අඟුරු සහ ඛනිජ තෙල් මිලදී ගැනීමට වැය කරනවා කියලා. විශේෂයෙන්ම අපි විදේශ ණය ගන්නවා ඒවායින් බොරතෙල් ගල් අගුරු ආනයනය කරලා විදුලිය නිපදවනවා. එවැනි චක්‍රයක් ඇතුලේ අපි තව තවත් ණයගැති සහ බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙනවා වගේම සහ විදුලි අර්බුදය නිසි ආකාරව විසදා ගන්න නොහැකි වෙලා තියෙනවා.

හැබැයි ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය සඳහා වසර පුරා හොඳ විභවයක් තියන රටක්. විශේෂයෙන් සූර්ය හා සුළං බලයෙන් අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ.



දැන් මේ බංකොලොත් දේශපාලන පක්ෂ වලට අයත් පරිසර සංවිධාන වලින්  මන්නාරම ප්‍රදේශයේ සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳව පදනම් විරහිත මිත්‍යාවන් රැසක් පතුරමින් ඉන්නවා.

විශේෂයෙන්ම කියනවා සුළං පෙති නිසා මුහුදු රල අනිත් පැත්තට හැරෙනවලු, ධීවරයන්ට පොඩි මාළු අහුවෙන් නෑලු, වැස්ස නැතිවෙනවලු, කුරුල්ලෝ සුළං පෙති වල වැදිලා මැරනවලු. මේවා සම්පූර්ණයෙන්ම අසත්‍යයි. පදනම් විරහිත කතන්දර. විශේෂයෙන්ම දැන් නවීන තාක්ෂණය සහ රේඩාර් යොදාගෙන කුරුල්ලො ගැටෙන අනතුරු අවම කරන්න පුළුවන්. මීටර් 60 ක සීමාවෙදී කුරුල්ලන්ව හදුනාගෙන ටර්බයින ක්‍රියාකාරිත්වයේ වේගය අඩු වෙලා මීටර් 30 සීමාවට කුරුල්ලන් පැමිණියොත් මුළුමනින්ම ටර්බයිනය ක්‍රියාවිරහිත වන තාක්ෂණයන් තියෙනවා. එවැනි තාක්ෂණයන්ගෙන් ප්‍රයෝජන අරගෙන ඉක්මණින්ම මන්නාරම සිට පුනරීන් සහ කන්කසන්තුරය දක්වා මේ සුළං බල ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කල යුතුයි.

එමෙන්ම පරිසරවේදීන් හැටියට පාවෙන සූර්ය බල පද්ධති, සුළං විදුලි බලාගාර ඉදිවන විට ඒවාට අනවශ්‍ය ලෙස විරුද්ධ නොවී ජාතික අවශ්‍යතාව සහ දීර්ඝ කාලීන පාරිසරික වාසි සලකා බලා පාරිසරික හානි අවම කරගෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට ඉඩදිය යුතුයැයිද

මේ ගැන තමා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ක අපි සාකච්ඡා කරේ ඒ වගේම අපගේ සොයාගැනීම් මත පදනම්ව වාර්තාවක් ඉදිරිපත් කරේ.” උන්වහන්සෙ වැඩි දුරටත් අවධාරණය කලේය.

මේ අතර මෙම වාර්තාව පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ රංජිත් සේපාල මහතා, “මේ රටේ අනාගත බලශක්ති අවශ්‍යතා සපුරාලිය යුත්තේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහායි.

අපේ රටේ පුරවැසියන් සඳහා බලශක්ති පිරිවැය අඩු කිරීමට ඇති එකම මාර්ගය මෙයයි. දැනට සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ ඉදිරියට යාමට අවශ්‍ය පියවර පිළිබඳව අපි පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ ජාතික පරිසර එකමුතුව සමඟ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදි මන්නාරම ප්‍රදේශයේ සැලසුම් කර ඇති ව්‍යාපෘති ද පිළිබඳව කතා කරා ඒ වගේම හාමුදුරුවෝ මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට අපිට උදව් කරන්න එකඟ වුණා.”

ජාතික පරිසර බල මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද විද්‍යාත්මක සොයාගැනීම් ඇතුළත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලද වාර්තාව පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීම සඳහා ඉතා වැදගත් වනු ඇත. මෙම සොයාගැනීම් මගින් ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීම සඳහා තිරසාර උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සඳහා සියලුම පාර්ශවකරුවන්ට උපකාර වන වටිනා අවබෝධයක් ලබා දෙනු ඇත. මෙම විස්තීරණ දත්ත උපයෝගී කරගනිමින්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හට ප්‍රතිපත්ති සම්පාදනය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඵලදායී ලෙස මඟ පෙන්විය හැකි අතර, රට සඳහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සාර්ථක සහ කාර්යක්ෂම ලෙස පරිවර්තනය කිරීම උදෙසා ගතයුතු පියවරයන් සහතික වනු ඇත