aluthgama-hotel-incident

අලුත්ගම,මොරගල්ල තරු පංතියේ හෝටලයක නවාතැන් ගෙන සිටි ඇමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙකුගේ කාමරයට ඇතුළුවී රුපියල් ලක්ෂ 14 1/2 ක් සොරකම් කිරීමේ සිද්ධියක් පිළිබඳ අලුත්ගම පොලීසිය පරීක්ෂණ පවත්වයි. ඇමෙරිකානු ජාතික ඇන්ඩෲ ක්‍රිස්ටෝපර් ලූකස් යන අය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ල අනුව මෙම පරීක්ෂණ ආරම්භ කොට තිබේ.



තමා ඉකුත් 23 වන දින හෝටලයට පැමිණ නවාතැන් ගත් බවත් ,24 වන දින අලුයම 4.20 ට පමණ අවදිව බලන විට කාමරයේ විවෘත කර තිබූ  තිර රෙද්ද අතරින් කිසිවෙකු අත දමනවා දැක හලෝ හලෝ ’ කියා කෑ ගසද්දී ඔහු පැන දිවූ බවත් , ඔහු පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ. ඉන් අනතුරුව තමා හෝටලයේ කාර්ය මණ්ඩලය දැනුවත් කර පරීක්ෂා කර බලන විට ඇමෙරිකානු ඩොලර් 4000ක්,ශ්‍රී ලංකා රුපියල් 2,10,000/ක්ද, තම විදේශ ගමන් බලපත්‍රය, රියැදුරු බලපත්‍රය ඇතුළු බෑගය නොතිබුණු බවත් ඔහු කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
සුනිල් එස් තන්ත්‍රිආරච්චි