130-electrical-engineers-have-left-the-job

ආර්ථික ගැටලු ඇතුළු විවිධ කරුණු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 130 දෙනකු මෑත කාලයේදී සේවය හැර ගොස් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. මේ අතර මණ්ඩලයේ විධායක මට්ටමේ පුරප්පාඩු 529 ක් පවතින බව කෝප් කමිටුවේ සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා එම කමිටුව හමුවේ සඳහන් කළේය.මෙහිදී අදහස් දැක්වූ විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාලිත පෙරේරා මහතා පැවැසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් 330 දෙනෙකුගේ පුරප්පාඩු පවතින බවයි.මෙම ඉංජිනේරුවරුන් 130 දෙනා සේවය හැර ගොස් ඇතැයි පැවසෙන්නේ ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මුල් මාස හතරේදීය.කමිටුව හමුවේ අදහස් දැක්වූ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා පැවැසුවේ විදුලි බල මණ්ඩලයේ අනුමත සේවක පිරිස 26783 ක් බවයි.



ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හේතුවෙන් අලුතින් බඳවා ගැනීම පසුගිය කාලයේ දී නොකළ බව පැවැසූ ලේකම්වරයා ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ සමග විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය හැකි තරම් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.විදුලිය අධිකාරීවරුන් විදුලි ඉංජිනේරුවරුන්ගේ වැටුප් ව්‍යුහය නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවක් ද ඇති බව ඔහු කීවේය.මේ අතර විදුලි බල මණ්ඩලයට වාහන විශාල වශයෙන් තියෙද්දි පිටින් ලබා ගන්නේ ඇයි දැයි මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ප්‍රශ්න කළේය.මෙම වාහන ගන්නේත් සේවකයන්ගෙන් බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ඒ.එස්. පවර් විදුලි බලාගාරය මිලදී ගැනීමට යෝජනා වී තිබුණු අවස්ථාවක එසේ නොකර හදිසි මිලදී ගැනීම් කිරීමෙන් විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන ගණනක පාඩුවක් ලබා ඇති බව කෝප් කමිටුවේ දී තොරතුරු අනාවරණය විය.ප

ොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පෙරේදා (14) රැස්විය. මේ තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.ඇඹිලිපිටිය ඒස් පවර් ව්‍යාපෘතිය ප්‍රමාද කිරීමෙන් මාස පහක් තිස්සේ රුපියල් කෝටි 230 කට ආසන්න මුදලක් වැය කර හදිසි මිලදී ගැනීම් කර හදිසි මිලදී ගැනීම් කර ඇතැයිද කෝප් කමිටුවට තොරතුරු හෙළිවී ඇත.

මෙම ව්‍යාපෘතිය රුපියල් කෝටි 237 කට තක්සේරු කළ නමුත් බලාගාර හිමිකරුවන් මෙය අලෙවි කිරීමට බලාපොරොත්තු වන්නේ කෝටි 244කට බවත් එහිදී සඳහන් විය.මිලියන 76 ක අඩුව හේතුවක් කරගෙන මෙය මිලදී ගැනීම මාස 5ක් දක්වා ප්‍රමාද කර ගිවිසුම දීර්ඝ කරමින් සිටින බවත් ඒත් සමග හදිසි මිලදී ගැනීම් විශාල ප්‍රමාණයක් කර ඇති බවත් ප්‍රකාශ කෙරිණි. බිලියන 2.3 ක මිලදී ගැනීම් කර ඇති බවද සඳහන් විය.විදුලිබල සේවකයන් සහනදායී ක්‍රමයට ලබාගත් දේපළ ණය වෙනුවෙන් අය කරන පොලියෙන් තුනෙන් දෙකක කොටසක් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිපූර්ණය කර ඇති බවත්, 2013 සිට 2023 දක්වා කාලය ඇතුළත රුපියල් කෝටි 1600කට වැඩි මුදලක් එසේ ප්‍රතිපූර්ණය කර ඇති බවත් මෙහිදී හෙළි විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල නිලධාරියකු පැවසුවේ මණ්ඩලය රජයේ ප්‍රතිපත්තිය අනුව මෙම තීරණය ගත් බවයි.
(අංජුල මහික වීරරත්න)