අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කොරෝනා රෝගියකු සුවසැරිය ගිලන් රථයකින් අඹන්පොළ මූලික රෝහලේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත අධික වේගයෙන් රැගෙන යන අතරතුර රිය අනතුරක් සිදු කොට කාන්තාවක මරණයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි සුවසැරිය ගිලන් රථ රියැදුරකු එකී චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර මුදා හරින ලෙස කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය. ගිලන් රථ රියැදුරන්ට මෝටර් රථ පනත අදාළ නොවන බැවින් එකී හේතුව මත සැකකාර ගිලන් රථ රියැදුරාට අධිකරණය හමුවේ නඩු පැවරීමට නොහැකි නිසා ඔහු නිදහස් කර මුදා හරින ලෙසට නීතිපතිවරයා අධිකරණයට කර තිබූ දැනුම් දීමක් සැලකිල්ලට ගනිමින් මෙසේ ගිලන් රථ රියැදුරු නිදොස් කොට නිදහස් කර මුදා හරින බව අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා මෙසේ සඳහන් කළේය.
මෙසේ නිදහස් කරනු ලැබුවේ චමින්ද සම්පත් ආරියදාස නමැති සුවසැරිය ගිලන් රථ රියැදුරෙකි. සැකකාර ගිලන් රථ රියැදුරා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා කියා සිටියේ කොරෝනා උවදුර බරපතළ ලෙස පැවැති සමයේ එනම් 2021 වසරේ ජනවාරි මස 19 වැනි දින ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කොරෝනා ආසාදිත රෝගියකු අඹන්පොළ රජයේ රෝහලේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහල දක්වා වැඩිදුර ප්‍රතිකාර සඳහා සැකකරු සුවසැරිය ගිලන් රථයකින් රැගෙන ගිය බවය. කොරෝනා රෝගියාගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් සැකකරු ඉතා අධික වේගයෙන් සිය ගිලන් රථය සුපරික්ෂාකාරී ලෙස පදවා ඇති බව ද අධිකරණයට සැලකළ නීතිඥවරයා ඒ යන අතරතුර කුරුණෑගල - පුත්තලම මාර්ගයේදී කාන්තාවක එම ගිලන් රථයේ ගැටී පසුව මිය ගොස් ඇති බව ද කීවේය.
මෙම රිය අනතුර සැකකරු චේතනාන්විතවම සිදු කළ එකක් නොවන බව ප්‍රකාශ කළ නීතිඥවරයා ඒ අනුව අනතුර සම්බන්ධයෙන් සිය සේවාදායකයාට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැති බව ද සඳහන් කළේය.
ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටින රෝගියකු රෝහලක් කරා රැගෙන යන ගිලන් රථ රියැදුරකුට රථවාහන පනතේ ප්‍රතිපාදන අදාළ නොවන බව ද අවධාරණය කළ නීතිඥවරයා ඒ සඳහා ගිලන් රථ රියැදුරකුට මුක්තියක් ඇති බව ද කීවේය. 2021 ජනවාරි මස 19 වැනි දින කුරුණෑගල පුත්තලම ප්‍රධාන මාර්ගයේදී සිදුව ඇති මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ වසන්තා කල්‍යාණි ඒකනායක නමැති කාන්තාවකි.
(උපාලි ආනන්ද)
0 Comments