Selected-childrens-names-cut-off-while-going-to-school-5-scholarship-parents-protest

ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වී කොළඹ ජනප්‍රියම පාසල්වලට තෝරා ගත් බවට අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ නම් පළ කළ සිසුවියන් 100කට ආසන්න පිරිසක් අදාළ පාසල්වලට ඇතුළත් කර නොගැනීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සදහන් කරමින් එම සිසුවියගේ මව්පියෝ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළහ.

තම දියණියන්ට සාධාරණයක් කර දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ගෙන් ඉල්ලීම් කළත් ඊට නිසි විසඳුම් නොලැබුණු බව කියමින් විශාකා, දේවි බාලිකා, සිරිමාවෝ සහ අනුලා විදුහල්වලට තෝරාගත් බවට අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ නම් පළකළ සිසුවියන් 100කට ආසන්න පිරිසකගේ මව්පියෝ මානව හිමිකම් කොමිසමට එලෙස පැමිණිලි කළහ.



2023 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවියන් තෝරා ගත් පාසලට වඩා ජනප්‍රියම පාසලට තම දියණියන් අභියාචනා ඉදිරිපත් කළ බවත්, එම අභියාචනාවලට අනුව තම දියණියන් ජනප්‍රියම පාසල්වලට තෝරාගත් බවට අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ නම් පළකර තිබූ බවත් මව්පියෝ කියති.ඒ අනුව අදාළ ජනප්‍රිය විදුහල්වලට ගොස් විමසීමේදී අමාත්‍යාංශ වෙබ් අඩවියේ නම් පළකර තිබුණත් පාසලේ ඉඩ නොමැති නිසා තම දියණියන් අදාළ පාසල්වලට ඇතුළත් කර ගැනීමට හැකියාවක් නැති බව විදුහල්පතිවරියන් තමන්ට දැනුම් දුන් බව ද සඳහන් කරති. විදුහල්පතිවරියන් එසේ දැනුම් දුන්නත් එම ජනප්‍රිය පාසල්වලට ආදී ශිෂ්‍ය, සහෝදර, ස්ථාන මාරු සහ ගුරු පදනම්වලින් දරුවන් 40කට ආසන්න පිරිසක් ඇතුළත් කරගෙන ඇතැයි පවසන මව්පියෝ මේ තත්වය යටතේ තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ද සඳහන් කරති.

 මනෝප්‍රිය ගුණසේකර