පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමට මැතිවරණ කොමිසම ඍජුවම වගකිය යුතු බව පෙන්වා දුන් නීතිපතිවරයා පළාත් පාලන මැතිවරණය  සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගත් ක්‍රියාමාර්ග නීතියට පටහැනි මෙන්ම වැරැදි සහගත බව සඳහන් කරමින් මැතිවරණ කොමිසමේ ක්‍රියාකලාපය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඊයේ (29) දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් ගොනු කර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා මැතිවරණ කොමිසම මෙලෙස දැඩි දෝෂ දර්ශනයට ඊයේ (29) ලක් කළේය.



අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, ගාමිණී අමරසේකර, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම්වල වග උත්තර කරුවන් වශයෙන් මැතිවරණ කොමිසම එහි සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන්නැයි ඉල්ලා දේශපාලන පක්ෂ ගොනු කර ඇති මෙම පෙත්සම් කැඳ වූ අවස්ථාවල දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍යතා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් රැස්වීම් පවත්වා ඇති බව සඳහන් කළේය. එලෙස පැවැත් වූ රැස්වීම් සම්බන්ධයෙන් වැරදි තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ද කීය.

පළාත් පාලන මැතිවරණය සඳහා ඉන්ධන හා ජල අවශ්‍යතා සපුරා ගැනීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාව,

විදුලි බල සහ ජල සම්පාදන මණ්ඩලය සමග 2023 පෙබරවාරි 17 වැනිදා පැවැත්වූ සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසම වෙනුවෙන් එහි සභාපතිවරයා පමණක් සහභාගි වී ඇති බවත් මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් එම රැස්වීමට සහභාගී නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය. මැතිවරණ විධානවලට සම්පූර්ණයෙන් පටහැනි ආකාරයට පවත්වා ඇති මෙම රැස්වීම පැවැත්වූයේ 2023 පෙබරවාරි 18 වැනිදා බවට වැරැදි තොරතුරු අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි ද ඔහු කීය.මැතිවරණ කොමිසම පවත්වනු ලබන රැස්වීම් සඳහා සියලු සාමාජිකයන් සහභාගී වී ඝනපූර්ණයක් තිබිය යුතු බවට මැතිවරණ නීතියේ සඳහන්ව ඇතත් මැතිවරණ කොමිසම නීතිය උල්ලංඝනය කරමින් සෑම විටම කටයුතු කර ඇතැයි කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ කාලයේ රටේ පැවැති ආර්ථික අගාධයෙන් බේරීමට සහ ජනතාවගේ මූලික අවශ්‍යතා සැපයීමට විසර්ජන පනතක් ගෙනාවේ යැයි ද කීය.

එම විසර්ජන පනතේ මැතිවරණය සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සඳහනක් නොවූ නමුත් පෙත්සම්කාර පක්ෂ වැරැදි තොරතුරු අධිකරණයට සපයා ඇතැයි කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඒ අවස්ථාවේ රටේ පැවැති ආර්ථික අගාධයට පිළියම් වශයෙන් ජනතාවගේ මූලික අවශ්‍යතා සඳහා රජයේ මුදල් වෙන් කළ නමුත් රජය හෝ එහි ප්‍රධානීන් කිසි විටෙකත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර නැතැයි ද කීය.

වැඩිදුර විභාගය තවදුරටත් පැවැත්වේ.පෙත්සම්කාර සමගි ජනබලවේගය පක්‍ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතාද පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.
රන්ජන් කටුගම්පොල