katunayake-porter-prasanna-ranaweera
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී මගන් මළු ප්‍රවාහනය කරන පෝටර්වරයකුට පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (17) ගුවන් තොටුපල පොලීසිය වෙත කැඳවා තිබිණි. එහිදී පොලීසිය රාජ්‍ය අමාත්‍යවරයාගෙන් පැයක පමණ කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව සඳහන්. පසුගිය 14 වනදා අලුයම රාජ්‍ය අමාත්‍යවරයා සිය බිරිඳව ඇරලවීම සඳහා ඇමති ආරක්ෂකයින් ද සමග ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී මෙම සිද්ධිය සිදුව තිබුණු අතර එහිදී ඔහු පෝටර්වරයාට පහරදෙන ආකාරය ආරක්ෂක කැමරාවල ද සටහන්ව තිබේ. මෙම පහරදීමට හේතුවී ඇත්තේ සේවා සපයන පෝටර්වරයකුට රුපියල් 1000ක් ගෙවිය යුතු බව ගුවන් තොටුපලේ පුවරුවල සටහන් කරතිබියදීත් රාජ්‍ය අමාත්‍යවරයා පෝටර්වරයාට රුපියල් 700ක් පමණක් ලබාදීමත් අදාළ පෝටර්වරයා ඊට විරෝධය ප්‍රකාශය කිරීමත් බව වාර්තා විය. පහරකෑමට ලක්වූ පෝටර්වරයා මෙතෙක් යළි සේවයට වාර්තා කර නොමැති බවත් සඳහන්.