Mirigama-Triple-Killer-Caught-Suspiciously-Carrying-Blown-Up-Bicycle

මීරිගම, කිතලවලාන, මාලදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයෝවෘද්ධ අඹු සැමි යුවළක් සහ ඔවුනගේ හතළිස් දෙහැවිරිදි ආබාධිත පුතා ඝාතනය කර, එම නිවෙසේ තිබූ රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක්, රන් මාලයක්, රන් මුදු දෙකක් සහ පාපැදියක් පැහැරගෙන පලා යමින් සිටි බව කියන පුද්ගලයකු ඊයේ (19) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ නාල්ල පොලිසිය සදහන් කරයි.

මෙසේ ඝාතනය කර ඇති වයෝවෘද්ධ අඹුසැමි යුවළ සැකකරුගේ බිරියගේ නැන්දා සහ මාමා වෙති.අත්අඩංගුවට ගැනුණ සැකකරු හලාවත බංගදෙණිය ප්‍රදේශයේ, තිස්පස් හැවිරිදි, දෙදරු පියකු බව පොලිසිය කියයි.මොහු රූපවාහිනී යන්ත්‍ර සහ ගුවන්විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ නිරත කාර්මික ශිල්පියකු යැයි කියති.මෙසේ ඝාතනය කර ඇත්තේ, නුගදෙනිය ආරච්චිගේ ලයනල් ප්‍රේමරත්න (අවුරුදු 75), දුලයාවති ජයලත් මැණිකේ (අවුරුදු 78), එම අඹු සැමි යුවළගේ පුතා වන කුමුදු ප්‍රියශාන්ත (අවුරුදු 42) යන තිදෙනාය.පොලිසිය පරීක්ෂණ පවත්වා හෙළි කරගෙන තිබෙන ආකාරයට, මෙම තිදෙනාම ඝාතනය කර ඇතැයි කියන්නේ ගෙල මිරිකීමෙනි.



ගම්පහ, නාල්ල පොලිසියේ සැරයන් චන්ද්‍රසිරි (55461), සැරයන් පතිරණ (33008) සහ පොලිස් කොස්තාපල් සේනාධීර (81112) යන මහත්වරුන් පොලිස් ත්‍රිරෝද රථයකින් මාලදෙණිය ප්‍රදේශයේ ඊයේ අලුයම් කාලයේ අපරාධ නිවාරණ කටයුතු සඳහා ජංගම සංචාරයේ නිරතව සිට ඇත. පාපැදියක් තල්ලු කරගෙන යන පුද්ගලයකු දුටු මෙම පොලිස් නිලධාරීන් තිදෙනා ඒ ගැන ඇති වූ සැකයක් මත ඔහු නවතාගෙන ඇත.පැරැණි පාපැදියක් වන මෙහි මකුළු දැල් ද බැඳ තිබූ අතර, රෝද දෙකේම හුළං බැස තිබීම ගැන ද බලවත් සැකයක් මතු වීමෙන් පසු සැකකටයුතු පුද්ගලයා පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ පාපැදිය ද අතහැර දමා ඔහු පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඔහු අල්ලාගෙන ඇතැයි පොලිසිය කියයි.

හැඩි දැඩි පුද්ගලයකු වන මොහු පොලිස් නිලධාරීන් සමග පොර බදා පලා යෑමට දැඩි උත්සාහයක් ගත් අවස්ථාවේ බලවත් පරිශ්‍රමයක් යොදා අල්ලා මෙල්ල කරගෙන තිබේ. මොහු කරේ එල්ලාගෙන තිබූ බෑගයක තිබී රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක්, රන් මාලයක්, රන් මුදු දෙකක්, ග්ලවුස් දෙකක්,

කතුරක් සහ කටර් අඬුවක් ද තිබී පොලිසිය සොයාගෙන ඇත.පොලිස් භාරයට ගත් මුදල් නෝට්ටු අතර තිබී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව සහිත සාමාජික කාඩ්පතක් ද තිබී සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී තිබේ.මොහු ඇඳ සිටි ඇඳුමේ ලේ පැල්ලමක් වැනි යමක් ද තිබී දැක ගැනීමට හැකි විණි යැයි පොලිසිය සඳහන් කරයි.2008 වසරේ නිකුත් කරන ලද මෙම සාමාජික කාඩ්පතේ ලයනල් නමැති නමක් සහ ලිපිනයක් සඳහන් කර තිබී ඇති අතර, පොලිස් නිලධාරීන් එහි ගිය අවස්ථාවේ නිවෙස තුළ තිදෙනකු ඝාතනය කර තිබෙන අයුරු දැක ගැනීමට හැකි වී ඇතැයි පොලිසිය වැඩිදුරටත් කීය.

අත්අඩංගුවට ගෙන සිටි සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ත්‍රිත්ව ඝාතනය සිදු කර ඇත්තේ ඔහු විසින් බවට තොරතුරු අනාවරණය විණි යැයි නාල්ල පොලිසිය සඳහන් කරයි. සැකකරු සන්තකයේ තිබී ඇත්තේ ද එම නිවෙසෙන් සොරා ගත් මුදල් සහ රන් ආභරණ බව ද ප

ොලිස් පරීක්ෂණවලින් තහවුරු වී ඇත.සැකකරු බංගදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, ඔහුගේ බිරියගේ මව මාලදෙණිය ප්‍රදේශයේම පදිංචිව සිටින බව පොලිසිය පැවැසීය.

ඝාතනයට ලක්වූ තිදෙනාගේ නිවෙසේ රූපවාහිනියේ ඇති වූ දෝෂයක් සැකකරු උදෑසන නිවෙසට පැමිණ සාදා දී පිටව ගොස් ඇතත්, බිරියගේ නිවෙසට ගොස් නොමැති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි කියති.සැකකරු ඊයේ අලුයම් කාලයේ ලයනල් නමැත්තාගේ නිවෙසේ පිටුපස දොර කඩා හොර රහසේ ඇතුළු වී මෙවැන්නක් සිදු කර තිබෙන බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. පොලිසිය මුලින්ම දැක ඇත්තේ ආලින්දයේ වැටී සිටි ආබාධිත පුද්ගලයාගේ සිරුරය.වයෝවෘද්ධ අඹුසැමි යුවළගේ මළ සිරුරු කාමරයක් තුළ තිබී පොලිසියට හමු වී ඇත.

සැකකරුගේ බිරිය පොලිසියට ප්‍රකාශ කර ඇතැයි කියන්නේ, සැමියා ඉඳහිට නිවෙසට පැමිණෙන බව යැයි කියති. අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ශෂිකලා වනිගසූරිය මහත්මිය ද ස්ථානීය පරීක්ෂණය සිදු කර මරණයට හේතුව ලබා ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන ලෙසට පොලිසියට නියෝග කළාය.