bus-nawalapitiya-driver-death

නුවරඑළියේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බසයක රියැදුරු සිය අසුන මත දී ජී විතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලිසිය සඳහන් කළේය. තවද ඒ හේතුවෙන් බසය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්ව ඇතැයි ද පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවය කරමින් සිටි සුරංග අරුණසිරි අත්තනායක නමැති 39 හැවිරිදි අයෙකි.

නුවරඑළිය සිට දිඹුල පතන හරහා නාවලපිටිය දක්වා පෙරේදා (15 වැනිදා) පස්වරුවේ ධාවනය වු බසය හදිසියේ කාර්මික දෝෂයකට ලක්ව තිබේ. අනතුරුව එම බසයේ ගමන් ගත් මගීන් වෙනත් බසයකට මාරු කර යවා, එහි රියැදුරු සහ කොන්දොස්තර එක්ව බසයේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර තිබේ.

පසුව බසය නාවලපිටිය දක්වා යළි ධාවනය කරවන අවස්ථාවේ බසයේ රියැදුරුට ඇතිවු හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් බසය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව ඇත. ඒ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල ෆාමස්ටන් ප්‍රදේශයේදී ය.

බසය අනතුරට ලක්වීමෙන් පසු එහි කොන්දොස්තර රියදුරුට කතා කර ඇතත් ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැත.

එම අවස්ථාවේදී ඔහු රියදුරු අසුන මත සිහිසුන්ව වැතිර සිටි නිසා කොන්දොස්තර විසින් ඒ පිළිබඳව ලිඳුල පොලිසිය වෙත දැනුම් දී ඇත. ඉන්පසු පොලිස් නිලධාරින් විසින් හෙතෙම රියැදුරු අසුනෙන් ඉවත් කර ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් ඇතත්, ඒ වනවිටත් රියැදුරු මියගොස් ඇති බව ලිඳුල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබිණි.

බසය අනතුරට පත් වු ස්ථානය අධික බෑවුමක් සහිත ස්ථානයක් බවත් එම වනවිට බසයේ රියැදුරු සහ කොන්දොස්තර පමණක් සිට ඇති බවත් ලිඳුල පොලිසිය සඳහන් කළේය.

පසුව පොලිස් නිලධාරින් විසින් බස් රියැදුරාගේ සිරුර ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත භාර දීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

අනතුරෙන් බසයට සහ මාර්ගයේ ආරක්ෂිත වැටට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, ලිඳුල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

(සිතාර ඉරාෂ් - වටවල)