canada-education-fraud

කැනඩාවේ අධ්‍යාපනය ලැබීමට යවනවා කියා රුපියල් ලක්ෂ 57ක මුදලක් ලබාගෙන වංචා කර ඇති බව කියන සැකකාර අඹු-සැමී යුවළක් මේ මස 27වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙසට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (20දා) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ,

නිට්ටඹුව, මල්වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකාර අඹු සැමි යුවලකි.වැලිවේරිය නාරංවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු කැනඩාවේ අධ්‍යාපනය ලැබීමට යවනවා යැයි කියා ඔහුව ගෙන්වාගෙන ඒ සදහා උපදේශන කටයුතුද සිදු කර රුපියල් ලක්ෂ 57ක මුදලක් ලබාගෙත වංචා කර ඇති බව කියත සිද්ධියක් සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වා සැකකාර අඹු සැමි යුවළ අත්අඩංගුවට ගෙන තිබිණ.

ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් එස්.ඒ.එස්. එල් ගුණසේකර මහතා කරුණු දක්වමින් පැමිණිලිකරු කැනඩාවේ අධ්‍යාපනය කටයුතු සදහා වන බව පවසා ඔහුව ගෙන්වාගෙන උපදේශන කටයුතු සිදුකර ගමනට අවශ්‍ය ලිපිලේඛනද සකස් කරදී ඔහුගෙන් රුපියල් ලක්ෂ 57ක මුදලක් ලබාගෙන වංචා කර ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇති බවට

පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.සැකකාර අඹු සැමි යුවළට උපදේශන කටයුතු සිදු කිරීම සඳහා බලපත්‍ර තිබෙන නමුත් පුද්ගලයන් විදේශ රටවලට යැවීමට බලපත්‍ර නොමැති බවද පොලිස් සැරයන්වරයා කීය. උපදේශන බලපත්‍රය උපයෝගී කරගෙන වංචාව කර ඇති බවත්, මේ අයුරින් මොවුන් දෙදෙනා තවත් වංවාවන් කර ඇත්ද යන්න පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යන බවද පොලිස් සැරයන්වරයා අධිකරණයට දන්වා සිටියේය.
 ආනන්ද ඉ ජයකොඩි