හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක්, වරායක් සහ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ප්රශ්නය ඉදිකිරීම් නොව ඒවා වයාපාර ලෙස සංවර්ධනය නොකිරීම බවයි.
මෙම ඉදිකිරීම් ව්‍යාපාරික ලෙස සංවර්ධනය කළහොත් රටට ඩොලර් ආදායමක් ගෙන ඒම විශාල ප්‍රශ්නයක් නොවන බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැවසීය.
ඔහු මේ බව පැවසුවේ හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
"මහින්ද රාජපක්ෂ මහතා වරායවල්, ගුවන්තොටුපළවල්, ක්‍රීඩාංගණ හදනකොට එතුමාට සහය දුන්නු අය දැන් මේ ප්‍රශ්න නඟනවා. හම්බන්තොට දිස්ත්‍රික්කය මේ ඉදිකිරීම් කරන්න සුදුසු නැද්ද? එදා කැබිනට් මණ්ඩලය තීරණය කළා රටම ආවරණය වන පරිදි ක්‍රීඩාංගණ හදන්න," රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසීය.
හිඟුරක්ගොඩ, අඟුණකොළපැලැස්ස, පුත්තලම, මතුගම වැනි ස්ථාන කිහිපයක ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ඉදිකිරීමට යෝජනා වී තිබූ බවත්, එය අවසන් වශයෙන් හම්බන්තොට ඉදිකළ බවත් ඔහු පැවසීය.
"රනිල් වික්‍රමසිංහ මහතා කුඩා ඔයේ ගුවන් තොටුපළක් හදන්න මුල්ගල් පවා තිබ්බා. ඉදිකිරීම් නෙවෙයි ප්රශ්නය. මේ ස්ථාන හරියට කළමනාකරණය කර ව්‍යාපාරික ආයතන ලෙස දියුණු කළ යුතුයි. 2016 න් පසු මෛත්‍රීපාල රජය යටතේ මේ ස්ථාන විනාශ කළා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. . සෑම සතියකම සංචාරකයන් 3000ක් 4000ක් පමණ රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණෙනවා"ඔහු පැවසීය.
0 Comments