custom-officer-30m-rewards

වැටලීම් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි මුදලින් ත්‍යාග ලබාගත් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 174 දෙනකු පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.නිලධාරින් 35 දෙනකු 2016 වර්ෂයේදී ද නිලධාරින් තිස් දෙනකු 2017 වර්ෂයේදීද නිලධාරින් 21 දෙනකු 2018 වර්ෂයේදීද 16 දෙනකු 2019 වර්ෂයේදීද තිදෙනකු 2020 වර්ෂයේදීද 17 දෙනකු 2021 වර්ෂයේදීද තවත් නිලධාරින් තිස් දෙදෙනකු 2022 වර්ෂයේදීද නිලධාරින් 20 දෙනකු 2023 වර්ෂයේදීද රුපියල් කෝටියකට වැඩි මුදලින් මෙසේ ත්‍යාග ලබාගෙන ඇතැයි එම වාර්තාවේ දැක්වේ.



ශ්‍රී ලංකා රේගුවේ ඉහළම ත්‍යාග මුදල් ලබාගෙන ඇති නිලධාරින් 100 දෙනා එසේ ලබාගෙන ඇති ත්‍යාග මුදල්වල වටිනාකම කෝටි 104 ක් බව බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.ඉහළම ත්‍යාග ලැබූ නිලධාරියා ලබාගත් ත්‍යාග මුදල්වල වටිනාකම (2017, 2021 සහ 2022) පිළිවෙලින් කෝටි 9ක් කෝටි 12 ක් සහ කෝටි 11 ක් වී යැයි වාර්තාව සඳහන් කරයි.මේ අනුව 2016 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරියකු ද වසර හයක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරින් සිවු දෙනකු ද වසර පහක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරින් නව දෙනකු ද වසර හතරක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරින් 24 දෙනකු ද වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

වසර හතක් නොකඩවා ත්‍යාග ලැබූ නිලධාරින් එක් අයකු ද වූ අතර ඔහු ලැබූ ත්‍යාග මුදල්වල වටිනාකම රුපියල් කෝටි 38 ඉක්මවන බව වාර්තාව සඳහන් කළේය. රුපියල් කෝටියට වඩා ත්‍යාග ලැබූ නිලධාරින්ගෙන් එම ත්‍යාග සහ වැටුපට අමතරව රුපියල් ලක්ෂ 20කට වඩා ප්‍රතිලාභ ලබාගත් නිලධාරින් සංඛ්‍යාව හතක් බව විගණන වාර්තාවේ දැක්වේ. මෙම තොරතුරු සඳහන් වන්නේ  කළමනාකරණය  සහ අරමුදල්වල පරිපාලනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේය.
 සුජිත් හේවාජුලිගේ