dambulla-incident

පෞද්ගලික මගී බස් රථයක් ගලේවෙල ප්‍රදේශයේ හෝටලයක් අසල නතර කර රියැදුරා සහ කොන්දොස්තරවරයා ඇතුළු මගීන් පිරිසක් පෙරේදා (28) රාත්‍රියේ ආහාර ගැනීම සඳහා ගොස් සිටියදී බීමතින් සිටි පිටස්තරයකු බස් රථය පණ ගන්වාගෙන ඉබ්බන්කටුව සුසාන භූමිය අසල අතහැර දමා පලා ගොස් ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසයි.පිටස්තර පුද්ගලයකු බස් රථයට ගොඩ වී එය පණ ගන්වා ගෙන ධාවනය කරගෙන යද්දී එහි සිටි සෙසු මගීන් බියට පත් වී මර ලතෝනි දී ඇතැයි ද වාර්තාවේ. කොළඹ සහ ත්‍රිකුණාමලය මුතූර් අතර ධාවනය වන මෙම පෞද්ගලික මගී බස් රථය මුතූර් බලා ධාවනය වන අතරවාරයේ පෙරේදා රාත්‍රී නමයට පමණ පහළවැව හෝටලය අසල ආහාර ගැනීම සඳහා නතර කර ඇත.



රියැදුරා කොන්දොස්තරවරයා ඇතුළු බස් රථයේ සිටි මගීන්ගෙන් කොටසක් තේ පානය කිරීම සඳහා හෝටලයට ගොස් ඇතැයි පොලිසිය කියයි.ඒ අවස්ථාවේ ඉබ්බන්කටුව ප්‍රදේශයේ පුද්ගලයකු හෝටලය අසලදී රියැදුරා සහ කොන්දොස්තරවරයා සමග ආරවුලක් ඇති කරගෙන ඇතැයි පැවැසේ.බීමතින් සිටි බව කියන මොහු හෝටලයෙන් පිටවී බස් රථයට ගොඩ වී එහි තිබූ යතුරෙන් බස් රථය පණ ගන්වාගෙන මගීන් ද සමග බස් රථය පැහැරගෙන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මේ බව දුටු බස්රථයේ කොන්දොස්තරවරයා සහ රියැදුරා ත්‍රීරෝද රථයක ගොඩවී බලහත්කාරයෙන් රැගෙන යන බස් රථය හඹා යන අවස්ථාවේ ඉබ්බන්කටුව සුසාන භූමිය අසල බස් රථය නතර කර පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.ඒ වනවිටත් බස් රථය කිලෝමීටර් හතරකට වැඩිදුරක් ධාවනය කරගෙන පැමිණ ඇති බව පොලිසිය පැවැසීය.

රියැදුරා සහ කොන්දොස්තරවරයා බස් රථයට ගොඩ වී නැවත හෝටලය අසලට බස් රථය රැගෙන ඇවිත් ආහාර ගැනීම සඳහා ගොස් සිටි මගීන් බස් රථයට ගොඩ කරගෙන දඹුල්ල මූලස්ථාන පොලිසියට පැමිණ රියැදුරා සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය