ඇහැළියගොඩ ඇරෑපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි චන්ද්‍රිකා හෙට්ටිආරච්චි නමැති 57 හැවිරිදි කාන්තාව පසුගිය අප්‍රේල් 24 දා සිට ආගිය අතක් සොයාගත නොහැකිව තිබිණි. ඇයගේ පවුලේ ඥාතීන් සෙවීමට ඇති සැම තැනකම සොයා, බැරිම තැන කිරිඇල්ල පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන්නේ පොලිසියේ මැදිහත් වීමෙන් හෝ ඇය සොයාගන්නා අටියෙනි. ඒ අනුව කිරිඇල්ල පොලිසියේ නිලධාරීන් පවුලේ ඥාතීන්ද සමඟ ඉකුත් සති 3 පුරා ඇය සොයාගැනීමට නොගත් වෙහෙසක් නැති තරම්ය.
මේ අතරතුර වෙනත් වෝදනාවකට ඇහැළියගොඩ පොලිසිය විසින් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ 41 හැවිරිදි පුද්ගලයකු මේ කාන්තාවගේ අතුරුදන් වීම හා සම්බන්ධ බවට තොරතුරක් කිරිඇල්ල පොලිසියේ අපරාධ අංශයට ලැබෙන්නේ බුද්ධි අංශයෙනි. ඒ අතුරුදන්ව සිටි කාන්තව පැලඳ සිටි රන් සුරයක් කිරිඇල්ල නගරයේ ස්වර්ණාභරණ හලකට අලෙවි කළ 28 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී තිබූ තොරතුරක් මතය.
ඒ අනුව පොලිස් නිලධාරීහු කුරුවිට බන්ධනාගාරයට ගොස් එම සැකකරුගෙන් ප්‍රශ්න කළහ. එහිදී අනාවරණය වී ඇත්තේ අතුරුදන්ව ඇතැයි සිතූ කාන්තාව ඝාතනය කර කිරිඇල්ල හාන්දුකන්ද ප්‍රදේශයේ කැලයක වළ දමා ඇති බවයි. මේ අපරාධය සිදු කර තිබුණේ ප්‍රශ්න කිරීමට ලක් වූ බන්ධනාගාරගතව සිටි සැකකරු විසිනි.
මේ අනාවරණයත් සමඟ අධිකරණ නියෝගයක් මත කිරිඇල්ල හා ඇහැළියගොඩ පොලිසිවල නිලධාරීන් පෙරේදා (15) මළ සිරුර ගොඩ ගන්නට කිරිඇල්ල හාදුකන්දට යන්නේ බන්ධනාගාර නිලධාරීන් සමඟ සැකකරුද රැගෙනය. එහිදී සැකකරු පෙන්වූ ස්ථානය හාරා ගොඩ ගැනීමට හැකියාව ලැබෙන්නේ කාන්තාවගේ සිරේ කොටස්ය. ඒ එම සිරුර ඒ වන විට බොහෝ සේ නරක්ව තිබුණු බැවිනි. දිය වී තිබුණු සිරුරේ කොටස් සතුන්ද කා දමා තිබී ඇත. සිරුර ඇගේ ඥාතීන් විසින් හඳුනාගනු ලබන්නේ ඇය හැඳ සිටි ඇඳුම්වලිනි. ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පොලිසියට පවසා ඇත්තේ
ගෙල සිර කර මේ කාන්තාව පසුගිය අප්‍රේල් 24 දා ඝාතනය කර, ඇයගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකෑ බවයි. කිරිඇල්ල පොලිසියේ ස්ථානාධිපති චමින්ද පෙරේරාගේ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.ඩී.ඩී.එස්. දිසානායක, පො.සැ. 28983 උපාලි, පො.කො. 83095 දිනේෂ්, පො.කො. 70165 දේශාන් පො.කො. 385897 ප්‍රදීප් යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
0 Comments