මෙවර ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සහ සබරගමුව සමන් දේවාලයේ පෙරහර අරඹන නැකත් එකට යෙදී තිබීම හේතුවෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන් සපයා ගැනීමේ දුෂ්කරතාවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමය කියයි. හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසා සිටියේ එම තත්ත්වය හමුවේ ශ්‍රී දළදා මාලිගාව සේම සිව් මහා දේවාලයන්හි පෙරහර සඳහාද අලි ඇතුන් සපයා ගැනීම පිළිබඳව දුෂ්කරවී ඇති බවයි.
පෙරහර දෙක සඳහා නැකත් එකම කාලයේ යෙදීම හේතුවෙන් මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ගෙන් කොටසක් සබරගමුව සමන් දේවාලයේ පෙරහර සඳහා සහභාගි වීම හේතුවෙන් අලි ඇතුන්ගේ හිඟයක් ඇතිව තිබෙන බැවින් ඊට තාවකාලික පිළියමක් ලෙස පින්නවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත පිරිමි හස්තීන් රජයේ අයිතිය යටතේ පෙරහර සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවද හෙතෙම පැවසීය.හීලෑ අලි ඇතුන්ගේ හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පෙරහර සිදුකිරීමේදී මුහුණ දී තිබෙන මෙම ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයාත් රජයේ වගකිවයුතු අංශත් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
(ෂේන් සෙනවිරත්න)
0 Comments