දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹූ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය 29දා බංගලාදේශයට අපනයනය කරනු ලැබීය.මෙට්‍රික් ටොන් පනහකින් යුතු මෙම කඩදාසි තොගය කාර්මික කඩදාසිවලින් යුතු විය. කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු පසුගිය අප්‍රේල් 18දා ආරම්භ කරනු ලැබීය. අපනයනය කළ කඩදාසි තොගයේ වටිනාකම ඩොලර් 20,000ක් පමණ බව ‘අනුනයින්' සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා පැවසුවේ ය.

ජාතික කඩදාසි සංස්ථාවට අයත්ව තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත ආර්ථික ප්‍රතිපත්ති මත විදෙස් රටවලින් කඩදාසි ගෙන්වීමට කටයුතු කිරිමෙන් පසු 2003 වසරේදි වසා දමන ලදි. ඉන් පසු අවස්ථා කිහිපයකදී එහි තිබූ යන්ත්‍ර සූත්‍ර, යකඩ ආදිය ගලවා පරණ යකඩවලට විකුණා කම්හල ගොඩනැගිලිවලට සහ යන්ත්‍ර සුත්‍ර කිහිපයකට පමණක් සීමාකර තිබුණි. පසුව රජය සමග ඒකාබද්ධව ඇඹිලිපිටිය පේපර් මිල්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් නමින් පුද්ගලික සමාගමක් විසින් පසුගිය අවුරුද්දේ යළි සංවර්ධනය කරනු ලැබීය.



නව යන්ත්‍රසුත්‍ර ආදිය සව්කර මුලින්ම 70පට සහ 150පට ප්‍රමාණයේ කර්මාන්ත කඩදාසි නිෂ්පාදනය ආරම්භ කරන ලදි. මෙරට අබලි කඩදාසි නිෂ්පාදන මූලද්‍රව්‍ය ලෙස යොදා ගැනිණ.දේශීය ව්‍යාපාරික සහ ව්‍යවසායක අනුරත් අබේරත්න මහතාගේ 'අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ පුද්ගලික සමාගමක් ලෙස ඇඹිලිපිටිය කඩදාසි කම්හල ක්‍රියාත්මක වෙයි.

මේ වනවිට රටවල් දොළහකින් විදේශ ඇණවුම් ලැබී ඇති බව ‛අනුනයින්’ සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂ නලින් ඇන්තනී මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ කාර්මික කඩදාසි වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ විසිදහසක් බව කී ඔහු ඇඹිලිපිටිය කම්හලෙන් මෙට්‍රික් ටොන් අනූදහසක් නිපදවිය හැකි බව ද කීවේය. ඉදිරියේදී ලංකාවේ අවශ්‍යතාව සපුරාලීමට කැහලේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම ඉලක්කය වී ඇති බවද ඒ මහතා සඳහන් කළේ ය.එසේම මෙතෙක් ලංකාවේ අබලි කඩදාසි විදෙස් රටවලට අපනයනය කෙරුණ අතර මේ වනවිට එම අපනයන කළ අබලි කඩදාසි ඇඹිලිපිටිය කම්හල මගින් මිලදී ගෙන අගය වැඩිකරමින් කඩදාසි නිෂ්පාදනය කර විදේශ විනිමය උපදවන බවද හෙතෙම කීවේය.
අජිත්ලාල් ශාන්තඋදය
embilipitiya-paper-mill-bangladesh