fonseka-sjb-case

 
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති ධුරයෙන් සහ සමගි ජන බලවේග පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම වළකාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කර ඇතිවාරණ නියෝගය විසුරුවා හරින්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම පිළිබඳව ජුනි 05වැනිදා කරුණු තහවුරු කිරීමට අභියාචනාධිකරණය ඊයේ (21දා) නියම කළේය.



අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි. සමගි ප්ත බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම ඛණ්ඩාර යන මහත්වරුන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා නම් කර ඇත.

සමගි ජන බලවේගය පක්‍ෂයට හිටපු හමුදාපති දයා රත්නායක මහතා එක්වීම විවේචනය කිරීම හේතුවෙන් තමන් පක්ෂයෙන් ඉවත් කිරීමට සූදානමක් ඇතැයි කියමින් සරත් ෆොන්සේකා මහතා ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ දිසා අධිකරණය විසින් ෆොන්සේකා මහතා පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම වාරණය කරමින් නියෝගයක් නිකුත් කරන ලදැයි සදහන් කරන පෙත්සම්කරුවෝ, එම නියෝගය විසුරුවා හරින්නැයි ඉල්ලමින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර ඇත.පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ පරමාන් කාසිම් මහතා පෙනී සිටි අතර, වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටියේය.
බුද්ධිමාල් රුබේරු