ගාල්ල වක්වැල්ල පාරේ අවන්හලකට ගොස් මත්පැන් පානය කර බිල නොගෙවා කලහකාරී ලෙස හැසිරෙමින් වීදුරු දොරක් කුඩු පට්ටම් කළ පොලිස් කොස්තාපල්වරයකු ගාල්ල පොලීසියේ නිලධාරීන් විසින් පෙරේදා (26) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ
අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුන්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරයෙකි. අම්බලන්ගොඩ පොලිස් අධිකාරීවරයා විසින් මේ සිදුවීම මුල්කරගෙන මේ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද ඊයේ (27) වන විට පියවර ගෙන තිබුණි.අවන්හල් හිමිකරු පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරියා බීර දෙකක් පානය කර බිල නොගෙවා යෑමට සූදානම් වූ අවස්ථාවේදී බිල ගෙවන ලෙස පැවසීමත් සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන ගබඩා කාමරයේ දොර වීදුරුවක් කඩා දමා පසුපස දොරෙන් පළායාමට උත්සාහ ගත් බවය.
අවන්හලට ඔහු පැමිණෙන විටත් බීමතින් සිටි බවත් පළා යන්නට උත්සාහ ගත් අවස්ථාවේදී ඔහු බිම ඇද වැටුණු බවත් අවන්හල් හිමිකරු පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත.
ඔහු පොලීසියෙන් ඉල්ලා ඇත්තේ මේ නිලධාරියා පානය කළ බීර දෙකේ සහ හානි කළ දේපළවල වටිනාකම අය කර දෙන ලෙසය.
පොලිස් කොස්තාපල්වරයා ද පැමිණිල්ලක් කරමින් පොලීසිය හමුවේ පවසා ඇත්තේ අවන්හල් හිමිකරු හා තවත් අයෙක් තමන්ට පහර දුන් බවයි.
පහරදීමට හේතුව විමසීමේදී ඔහු පොලීසියට කියා ඇත්තේ බිල නොගෙවීම මත පහරදුන් බවය. අවන්හල් හිමිකරු පොලීසියට මෙහිදී පහරදීමක් කිසිසේත්ම නොවූ බවත් සිදුවූයේ ඔහු පැන යන්නට සූදානම් වූ අවස්ථාවේදී ඇද වැටීමකින් තුවාල සිදුවූ බවත්ය.
පොලිස් කොස්තාපල්වරයා අසනීප නිවාඩු වාර්තාකර සිටියදී මේ සිදුවීමට මුහුණ දී ඇති බවත් ආරක්ෂක කැමරා පරීක්ෂා කිරීමකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි. ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ගයාන් කුමාර වීරසිංහ
0 Comments