ගෙදර කිසිවකුත් නැති වේලාවක සෝදා වියළාගැනීමට දැමූ ඇඳුම් ඉවත් කිරීමට සිය නිවෙසේ උඩුමහලට ගිය 35 හැවිරිදි කාන්තාවක ඉන් පහළට වැටී ජීවිතක්ෂයට පත්ව සිටියදී සාමාන්‍ය පෙළ විභාගය ලියා ගෙදර පැමිණි පුතුට හමු වීමේ ශෝක ජනක සිද්ධියක් ගම්පොළ නාරංවිට ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ නාරංවිට පිහිල්ලදෙණිය ප්‍රදේශයේ පදිංචි මනෝරි නිසංසලා හරිස්චන්ද්‍ර නමැති දෙදරු මවකි. ඇයගේ සැමියා වන පිල්ලෑවේ ගෙදර ශාන්ත කුමාර ඉදිකිරීම් අංශයේ කොන්ත්රාත්කරුවෙකි. ඔහු එදින එම ප්‍රදේශයේම ඉදි කිරීමක් සඳහා උදෑසනින්ම නිවෙසින් පිටව ගොස් තිබේ. ඔවුන්ගේ වැඩිමහල් පුතු මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බැවින් මියගිය කාන්තාව පෙරේදා (14) උදෑසනම ආහාරපාන සකස් කර දී පුතු විභාග මධ්‍යස්ථානයට පිටත් කර යවා තිබේ. ඇය පෙරවරු දහයට පමණ දෙවැනි පුතු අතේ සැමියාට තේ වතුර යවා ඇති අතර,
එහිදී ඒ පුතු පියා සමග වැඩපොළේම නතර වී තිබේ. සවස් වරුවේ වැසි වැටෙන නිසා, වියළාගැනීමට දැමූ රෙදි ගැනීමට ඇය උඩුමහලට ගොස් ඇත්තේ මෙලෙස නිවෙසේ සියල්ලන් බැහැර සිටි අතරතුරේය. නිවෙසට ඇතුළු වන ගේට්ටුව හා නිවෙසේ උඩුමහල අතර යකඩ බට හා තහඩු දමා තිබෙන අතර, ඇය රෙදි වනා තිබී ඇත්තේ ඒ මතය. රෙදි ගැනීමට යෑමේදී යකඩ තහඩුවක්ද සමඟ ඇය පහළට වැටී ඇති බව පොලිසිය පවසයි.
විභාගය සඳහා ගිය පුතු සවස හතර හමාරට පමණ නිවෙසට පැමිණ ඇතත් ගේට්ටුව තිබී ඇත්තේ වසාය. එබැවින් ඔහු ගේට්ටුව ඉදිරිපිට සිට මවට කථා කර දොර අරින ලෙස පවසා තිබේ. ගෙතුළින් පිළිතුරක් නොවූ තැන ඔහු තාප්පෙන් ගෙවත්තට පැන ඇති අතර, එහිදී සිය මව ලේ විලක් මැද මිදුලේ වැටී සිටින අයුරු දැක තිබේ.
සිද්ධියෙන් කම්පනයට පත් පුතු බොහෝ වේලාවකට පසු මේ බව සිය පියාට හා අසල්වාසීන්ට දන්වා ඇති අතර, ඔවුන් පැමිණ ඇය රෝහලට රැගෙන ගියත් ඒ වන විටත් ඇය මියගොස් සිටි බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.
ගම්පොළ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සචින්ත රත්නතුංග මහතා විසින් ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (15) සිදු කරනු ලැබූ අතර, දොළුව හදිසි මරණ පරීක්ෂක ගාමිණී ගුණරත්න මහතා මරණ පරීක්ෂණ කටයුතු සිදු කළේය.
ගම්පොල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අසංක බණ්ඩාර ගුණතිලක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ, ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහත්වරුන්ගේ උපදෙස් මත මෙහි පරීක්ෂණ සිදු කළ අතර, ස්ථානීය අපරාධ අංශයේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප) චම්පික විමලරත්න (උ.පො.ප) මෙන්ඩිස්, (පො.සැ) 20191 හේරත්, 71950 කපිල යන නිලධාරීහු ස්ථානීය පරීක්ෂණය සිදු කළහ.
(ගම්පොළ - සුරංග දිල්හාන්)
0 Comments