බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන අන්දමින් ප්‍රකාශ කරන ලදැයි චෝදනා ලැබ සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක්, සති දෙකක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට, ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට ඊයේ (13දා) නියම කළේය.
අන්‍ය ආගම්වලට අපහාස වන අන්දමීන් ප්‍රකාශ කරන දේවගැතිවරයා සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නැයි ඉල්ලා සර්ව ආගමික නායකයන් පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව,ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියම කළේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණ.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා කරුණු දක්වමින්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන දෙකක් වෙන වෙනම් කරන්නේ යැයි කීය. ආගම්වලට අපහාස කිරීම සම්බන්ධ විමර්ශනයට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වාර්තා ගොනු කර ඇති බවත්, මුදල් විශුද්ධිකරණය සම්බන්ධ විමර්ශනයට අදාළව පුද්ගලයන් තිස්දෙනෙකුගෙන්ද, සමාගම් 18කින්ද ප්‍රකාශ ලබාගෙන ඇති බවත්, අදාළ සමාගම් අතුරින් සමාගම් 6ක සැකකාර දේවගැතිවරයා අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරන බවත් කී දිලීප පිරිස් මහතා, දේවගැතිවරයාගේ කටහඬ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය වුවත්, ඒ සම්බන්ධ යන්ත්‍රය දොස් සහිත බැව්න් මෙතෙක් මේ සම්බන්ධ වාර්තා ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි කීය.
සර්වාගමික නායකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේදී යම් ගැටලු සහගත තත්ත්වයක් මතුවී ඇති බවත්, රුපියල් බිලියන 11ක පමණ මුදල් විශුද්ධිකරණයක් සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් කීය. දෙපාර්ශ්වය කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, සිද්ධිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණවල ප්‍රගතිය සති දෙකක කාලයක් තුළ වාර්තා කිර්මට නියම කළ අධිකරණය පෙත්සම ජුනි 10වැනිදා යළි කැඳවීමට නියම කළේය. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව දේවගැති ජරෝම් ප්‍රනාන්දු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔහු විසින්ම ඉල්ලා අස්කර ගන්නා ලදී.
බුද්ධිමාල් රුබේරු
0 Comments