gov-reaud

 රාජ්‍ය ආයතන තිහකට වැඩි සංඛ්‍යාවක දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නම් සදහන් වී ඇති ප්‍රධානීන් ඇතුළු නිලධාරින් 400 කට වැඩි පිරිසක් සම්බන්ධයෙන් කාලයක සිට නීතිය ක්‍රියාත්මක වී නැතැයි ජාතික විගණන කාර්යාල ආරංචි මාර්ගවලින් පැවැසේ.එසේම දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රජයට පාඩු වූ කෝටි දාහකට වැඩි මුදලක් අදාළ නිලධාරීන්ගෙන් අයකර ගැනීම ද මෙතෙක් සිදුවී නැතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. වගකිවයුතු නිලධාරීන්ගෙන් පාඩු වූ මුදල් අය කර ගන්නා ලෙස විගණන නිලධාරීන් නොයෙක් වර නිර්දේශ කර ඇතත් එම නිර්දේශ මෙතෙක් ක්‍රියාත්මක වී නැති බව විගණන නිලධාරියෙක් පැවැසීය.



මේ අතර දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කෙරුණු නිර්දේශ බොහොමයක් ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කර නොමැත්තේ එම දූෂණ වංචාවලට ප්‍රධානීන් ද ඍජුව හෝ වක්‍රාකාරව සම්බන්ධ වී ඇති නිසා බව පෙනී ගියේ යැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති. බරපතළ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවූ ආයතන 12 ක් පමණ හඳුනාගෙන ඇතැයි ද ඔවුහු සඳහන් කරති.මේ අතර සීනි බදු වංචාව, බාල පොහොර සිද්ධිය ඇතුළු ප්‍රධාන පෙළේ ජාවාරම්වලට සම්බන්ධ බව කියන නිලධාරීන් සම්බන්ධයෙන් ද මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. ඇතැම් දේශපාලනඥයන් මෙම නිලධාරීන්ට රැකවරණය ලබාදීම මෙම වංචා දූෂණයට යෑමට ප්‍රධාන හේතුවක් බව විගණන අංශ පෙන්වා දෙයි.
සුජිත් හේවාජුලිගේ