hot-weather-deaths-jaffna

යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් සිවුදෙනකු යාපනය දිස්ත්‍රික්කයට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් තාප ආඝාතයේ බලපෑමෙන් මියගොස් ඇතැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු කියති.අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ

මාධ්‍ය සාකච්ඡාවක් යාපනය ශික්ෂණ රෝහලේදී පැවති අවස්ථාවේදී එම අවස්ථාවට සහභාගී වූ වෛද්‍යවරු මේ බව පැවසූහ.යාපනය ශික්ෂණ රෝහලට විවිධ රෝගී තත්වයන් හේතුවෙන් නේවාසිකව ඇතුළත් කරනු ලැබූ රෝගීන්ට පවතින අධික උෂ්ණත්වයට ‍බලපෑම හේතුවෙන් මිය යාමට සිදුවුණු බවටත් අදාළ මරණ එම රෝගීන්ගේ විවිධ රෝග හේතුවෙන් සිදු වුවද එම රෝගීන්ගේ රෝගී තත්වයන් උත්සන්න වීමට අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන

තාප ආඝාතය ප්‍රධාන වශයෙන් බලපෑ බවටද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වෛද්‍යවරු කීහ.

එම රෝගීන්ගේ රෝගී තත්වයන්ට අමතරව තාප ආඝාතය බලපෑමෙන් වකුගඩු, හෘදයේ සහ පෙනහලු වල ක්‍රියාකාරීත්වය අඩපණ වීම මෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වයද අඩපණ වන බවට වෛද්‍යවරු මෙහිදී පෙන්වා දුන්හ. පසුගිය සතියකට අධික කාලයක් තුළ යාපනයේ බොහෝ ස්ථානයන්හි සෙල්සියස් අංශක 40 කට අධික උෂ්ණත්වයක් වර්තා වූ අතරම එය වයෝවෘද්ධ පිරිස් වෙනුවෙන් වැඩි වශයෙන් බලපාන බවටද වෛද්‍යවරු පැවසූහ.

මේ හේතුව නිසා ශරීරයේ යහපත් ජල මට්ටමක් පවත්වා ගැනීම සඳහා සෑම විටම ජනතාව සැලකිලිමත් විය යුතු බවටත් කොමඩු, පිපිඤ්ඤා, කරවිල, පලතුරු ආදිය නිතර ආහාරයට ගත යුතු බවටත් නිතරම තමන්ගේ මුහුණ මෙන්ම ඇහිබැමද සේදීමට සැලකිලිමත් වීමෙන් තාප ආඝාතය වැළඳීමෙන් ආරක්ෂ විය හැකි බවටත් යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
රොමේෂ් මධුෂංක