ජාඇල, කනුවන සමුපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පු කපා රුපියල් කෝටි 4 කට ආසන්න වටිනා කිලෝ 2 බරින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ රුපියල් ලක්ෂ දහයකට අධික මුදල් සොරාගත් පුද්ගලයකු කොල්ලුපිටිය ප්‍රසිද්ධ සමාජ ශාලාවක් අසල දී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 11 ක් සමඟ අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසය කියයි.එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිමේ දී

එම බැංකුවෙන් සොරාගෙන තිබූ ගනුදෙනුකරුවන් 500 කට ආසන්න ප්‍රමාණයකගේ කිලෝ 2 කට ආසන්න බරින් යුත් රන් භාණ්ඩ තොගය, සේප්පු කැපීමට යොදාගත් ග්‍රයින්ඩරය, අඩු, මිටි, තල හා විදුලි පන්දම සහ එදින ඇඳ සිටි ඇඳුම් පැලඳුම් ද පොලිසිය මගින් සොයාගෙන ඇත.ඊට අමතරව සැකකරු එම සොරකම සඳහා යොදාගත් සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.ඉකුත් 25 වැනිදා ජාඇල, කනුවන ග්‍රාමීය බැංකුවේ කළමනාකාරිනිය දින දෙකකට පසු බැංකුව විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී බැංකුවේ පැති බිත්තියක් අඩි එකහමාරක පමණ විෂ්කම්භයකින් හාරා කිසියම් සොර කණ්ඩායමක් ඇතුළට පැමිණ සේප්පු කපා රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇති බවට ජාඇල පොලිසියට පැමිණිලි කර තිබිණි.



අදාළ සොරකම සම්බන්ධයෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි වි. පී. ජේ. පුෂ්ප කුමාර මහතාගේ උපදෙස් මත එහි වැඩ බලන ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිත් ජයසේකර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ ආරම්භ කළහ.සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී එම රන් ආභරණ තොගයෙන් කීපයක් පිටකොටුව හෙට්ටි වීදිය ප්‍රදේශයේ රන් ආභරණ වෙළඳසල් කීපයකට විකුණා රුපියල් ලක්ෂ 24 මුදලක් ලබාගෙන අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඉතිරි මුදල් කැසිනෝ ක්‍රීඩාව සඳහා වැය කළ බව ප්‍රකාශ කළ බව පොලිසිය කියයි. 37 ඇවිරිදි සැකකරු කැස්බෑව, මඩපාත කහපොළ පදිංචිකරුවෙකි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ