kamburugamuwa-district-hospital

 මාතර, කඹුරුගමුව නව දිස්ත්‍රික් රෝහලේ දී සිදු වූයේ මළ දරු උපතක් බවත්, ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය විශේෂ පරීක්ෂණ දෙකක් ආරම්භ කර ඇති බවත් එම රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි.එමෙන්ම අධිකරණ නියෝග අනුව බිලිඳාගේ සිරුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වා මරණයට හේතු දක්වන බව මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ඩී.ආර්. සී.විජේනායක පවසයි.අධිකරණ නියෝග අනුව දරුවාගේ ඩීඑන්ඒ පරීක්ෂණ පැවැත්වීමටද නියමිතය.ඒකපාක්ෂිකව ඥාතීන් නගන චෝදනා මත පදනම්ව තීන්දු නොගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත්, රෝහල් පාර්ශ්වයෙන් ඊට පිළිතුරු දීමට නොහැකි වී ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව මාධ්‍යයට තොරතුරු ලබා නොදෙන ලෙසට ඇති චක්‍රලේඛයක් නිකුත් කර තිබීම නීසා බවත් රෝහල් කාර්යමණ්ඩලයේ ප්‍රකාශකයෙක් පවසයි.රෝහල් පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීමට රෝහල් අධ්‍යක්‍ෂවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බවද එම කාර්යමණ්ඩලය කියයි.

රෝහල් කාර්යමණ්ඩලයේ ප්‍රකාශකයෙක් මෙසේද කීය.

"මේ දිනවල සමාජ මාධ්‍ය හා සමහර රූපවාහි නාලිකාවල ප්‍රචාරය වන මාතර මහ රෝහලේ බිලිඳාගේ ප්‍රශ්නය පිළිබඳ ඇත්තම තොරතුරු සමාජගත වී නැහැ. රෝහලට ඇතුළුවන විටම දරුවා මියගොස් ඇති බව මව විසින්ම ඇඳ ඉහපතෙහි ලියා අත්සන් කර තියෙනවා. දරුවා ඉපදුණ පසු මළ දරු උපතක් දුටු බවටත් මරණ පරීක්ෂණයක් අවශ්‍ය නැති බවටත් ඇය විසින්ම ලියා අත්සන් කර තිබෙනවා. මළදරු උපත්වලින් 90%ක්,98%ක් විතරම ඥාතීන් විසින් රැගෙන යන්නේ නැහැ. රෝහලේ ඇති පහසුකම් අනුව මළ දරු උපත් විශාල ප්‍රමාණයක් ගබඩා කර ගන්න බැහැ. සති දෙකකට වරක් පැමිණෙන ලියාපදිංචි වී ඇති පෞද්ගලික සමාගමකට ඒවා ලබා දෙනවා. මෙම බිලිඳාගේ මරණය සිදුවී දෙවැනි දින උදේ කිසිවෙක් නොපැමිණ නිසා සිරුර එසේ පැමිණි වාහනයට ලබා දී තිබෙනවා.

එදින සවස් කාලයේ ඥාතීන් මෙම සිරුර රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී අදාළ වාහනයට සිරුර භාර දුන් වග නොදත් වෙනත් සුව සේවා පාලිකාවක් මළ දරු උපත රැගෙන යාමට පැමිණි පසු එය ලබා දීම සදහා ලිය කියවිලි රැගෙන එන ලෙස ප්‍රකාශ කර තිබෙනවා.නමුත් ඒවා රැගෙන එන විට මෘත දේහය අදාළ පෞද්ගලික සමාගමට භාරදී තිබුණා.

රෝහල් අධ්‍යක්ෂවරයාට කාර්යමණ්ඩලය ඒ ගැන දැනුම් දුන් පසු අදාළ අංශවලට කතා කර පැය දෙකක් ඇතුළත නැවතත් එම මළ සිරුර ගෙනවිත් ඔවුන්ට භාර දීමට කටයුතු කර තිබෙනවා. එහෙත් එම අවස්ථාවේ ඔවුන් එය ලබා ගැනීමට අකමැති බවත්, ඒ සදහා DNA පරීක්ෂණයක් සිදුකර ගැනීමට අවශ්‍ය හෙයින් මළසිරුර භාර දිය හැකිදැයි අසා තිබෙනවා.එවිට රෝහල් අධ්‍යකවරයා DNAපරීක්ෂණයක් කර ගැනීමට මළසිරුර පිටතට ගෙනයෑමට ලබාදිය නොහැකි බවත්, එසේ කරන ආයතනයකින් පැමිණ ඩීඑන්ඒ පරීක්ෂණයක් කිරීම පිළිබඳ විරුද්ධත්වයක් නැති බවත් ප්‍රකාශ කර තිබෙනවා.

එසේ නොමැති නම් උසාවි නියෝගයක් මාර්ගයෙන් DNA පරීක්ෂණයක් රජය මගින් කරදීමට හැකි බවත් ප්‍රකාශ කර තිබෙනවා.

දැනට මාධ්‍යවල ප්‍රචාරය කරමින් පවතින්නේ අධ්‍යක්ෂවරයාගේ කාමරයට පැමිණි ප්‍රාදේශීය දේශපාලකයෙක් බව කියා ගත් පුද්ගලයෙක් ජංගම දුරකථනයකින් පටිගත කළ දර්ශන කිහිපයක්. දැනට මෙම රෝහලේ මසකට බිලිඳුන් 450-500 අතර ප්‍රමාණයක උපත් සිදු කරමින් ප්‍රදේශයේ විශාල සේවයක් කරමින් පවතිනවා. පවතින නීති රීති අනුව රෝහල් අධ්‍යක්ෂවරයාට හෝ වෙනත් අයකුට මෙහි සැබෑ තත්ත්වය මාධ්‍යයට ඉදිරිපත් කිරීම තහනම් බැවින් මෙහි සත්‍ය කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවස්ථාවක් නැහැ. ගැබිණි මව්වරුන් විශාල පිරිසක් භීතියට පත්ව තිබෙනවා. මෙහි හානිය සිදු වන්නේ ද සමාජයටයි. මේ පිළිබඳව සාඛ්‍ය අමාත්‍යාංශය හා පොලීසිය විශේෂ පරීක්ෂණ දෙකක් දැනටම ආරම්භ කර තිබෙනවා.මෙහි සත්‍යය ඉදිරියේදී අනාවරණය වේවි.”


ක්‍රිෂාන් ජීවක ජයරුක්